සංකර ආඩපාලි බසකින් කතාවක් කියන්නට ඇති කැමැත්ත නිසාම මෙවර පෝස්ටුව විනීතව සිස්ටසම්පන්නව කීමට අදහස් කළෙමි.
මා 6 ශ්‍රේණියේ සිට උසස් පෙල දක්වා අකුරු කළ පාසලේ කොල්ලන්ගේ දඟකම්, කොලුකම්, වල්කම් සහ කෙල්ලන්ගේ නසරාණි කම් මැද්දෑවේ ගත කල කාලය ලල් සහගත සිදුවීම් වලින් ගහණය. සිසුන්ගේ හැටි දන්නා නිසාම එකල පාසලේ විනය භාරව සිටි ගුරුවරුන් සහ ගුරුවරියන් කිහිප දෙනා අතිශය දරදඬු පාලනයක් පාසල් භූමිය තුල පවත්වා ගැනීමට වෙහෙස ගත්හ. බොහෝ ශිෂ්‍යන්ද මෙම ගුරුවරුන්ගේ බහට අවනත වූ අතර නමුත් අවසර ලද සෑම විටම කුමක් හෝ බුලක් ඇදීමට වෙහෙසුණහ. ප්‍රතිඵල ඉතා භයානක බව දැන දැනම මෙලෙස අංචි ඇදීම සිදු කලමුත් ගුරුවරුන් සමග ඇති ගරුත්වය එලෙසම පවත්වා ගැනීමට සිසුන් සමත්විය.
එකල පාසලේ විනය මණ්ඩලයේ ප්‍රධාන ආචාර්ය වරිය ලෙස කටයුතු කළ ගුරුතුමිය ශිෂ්‍යන්ට මවක් සේම කටයුතු කළ අතර සිසුන්ගේ බොහෝ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් නොපැකිලිව පෙනී සිටි අතර එලෙසම වැරැදි වලදී නොපැකිල දඬුවම් පැමිණවීය.
වරක් අප පාසල අසළින් ගිය වෙනත් කොහේදෝ පාසලක සිසුන් කිහිප දෙනෙක්ගේද කොණ්ඩ රැවුල් කප්පවා, කමීස හරි ගස්සවා, කලිසම් උස්සවා නිල ඇඳුම සකස් කිරීමට මේ ගුරුතුමිය කටයුතු කළ අතර ඔවුන් වෙනත් පාසලක අයවලුන් බව ආරංචි වූයේ එම පාසලේ විදුහල්පති, නසරාණි කොලු රැළක් ආණ්ඩු මට්ටු කිරීමට දුන් සහයට ස්තුතිය පල කිරීමට අප පාසල ඇමතූ විටයි. පසු කලයකදී මෙම ගුරුතුමිය විශ්‍රාම ගන්නා විට පාසලේ බොහෝ දෙනෙකු කඳුලු සැලූ බව නොරහසකි. ඉන් ගුරු මඬුල්ලට ඇති වූ ඌණපූර්නය පිරවීමට සමත් ගුරුතුමියක් මෙතුවක් කල් නැවත පාසලට බිහි නොවූ බව මගේ හැඟීමයි.
මේ කතාවට වස්තු බීජය වන්නේ එලෙස අඩුව පිරවීමට පොර වැඩ කිරීමට ගිය වෙනත් ගුරු මහත්මියකි. විනය භාර ගුරුතුමියගේ නික්ම යාමෙන් අනතුරුව වාර දෙකකට පමණ පසුව පාසලට අලුත් ගුරුතුමියක් පැමිණියාය. ඇය පැමිණියා කියනවාට වඩා අහසින් පොළවට බැස්සා යන්න යෙදීම වඩා උචිතය. ඇගේ රැස් කෝමත් වැඩිය. අමුතු ගැම්මක් සහිතව එහෙ මෙහෙ සක්මන් කරමින් කොල්ලන්ට කෙල්ලන්ට පාට් දැමීමට රුසියෙකි. ඇය දුටු විගස මට මතක් වූයේ හැරි පොටර් කතාවේ මහා කාලකණ්ණි සමයක හොග්වෝට්ස් වලට කඩා වදින Dolores Umbridgeය.
කල් ගත වෙද්දී ඇය මේ කොහේදෝ නගරයක බාලිකා විද්‍යාලයක උප විදුහල්පතිනිය ව කටයුතු කළ බවත් බාලිකාවන්ට දැමූ පාට් අපිටද දමන්නට සැරසෙන බවත් කණින් කොණින් ඇහෙන්නට විය. නික්ම ගිය ගුරුතුමී මෙන් සිසුන් සමග සුහදත්වයක් කිසිසේත්ම මැය ප්‍රකට නොකළ අතර කාර්ය මණ්ඩලයේ ගුරුවරුන්ටද මැඩම් පාට් දමන්නට ගොස් ඇණ ගත් කේස් ඉහළින් වාර්තා විය.
බාලිකාවක සිටි කෙල්ලන්ට දැමූ පාට් අපිට දාන්න සෑදීම අපිට කිසිසේත්ම ඇහින් කා බලන් ඉන්නට නම් බැරි විය. කෙමෙන් කෙමෙන් අප හඳුන් පෙත් කීං ගන්නට වූ මේ සිද්දිය රිටන් එකක් දෙන තරමට වර්ධනය වූයේ කාල පරිච්ඡේද දෙකක් අතර හමු වන කුඩා විවේකයෙහි අපි එලියට යාම තහනම් කිරීමට මේ උත්තමාවිය සැරසුණු නිසාය. එසේ ආතල් එකේ තම කාලය කොරිඩෝවක හිඳිමින් ගත කල කොල්ලන් දෙදෙනෙකුට බැණ වැදීම ඇය ප්‍රසිද්ධියේම ගේම ඉල්ලන බව දැක්වෙන පැහැදිලි සාධකයක් විය.
එවකට අපි 12 වන වසරෙහි විද්‍යා අංශයේ කොලුවන් වීමු. 13 වසරේ විද්‍යා අංශයේ අයියලාටද මෙම උත්තමාවියගේ රැස් බැලීමට සිදු වීමෙන් ඔවුන්ද කුපිත වී තිබූ අතර එහි ප්‍රථිඵල ලෙස ඔවුන් තරමක දරුණු රිටන් එකක් ලබා දෙනු ලැබීය. සදාචාරාත්මක හේතූන් මත එය මෙහි සඳහන් කිරීමට නොහැකි බව පවසන අතර නමුදු එයින් පසු මැය කිසිම දිනක 13 වසරට කිසිදු ලෙස සම්භාදක නොදැමූ බව මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. එයින් වූයේ අපිද තරමක් වයින් වීමය. 13 වසර ආශ්රිත සිද්ධියෙන් පසු ඇය විද්‍යා අංශයට හොස්ස පෙවීම මදක් අඩු කර තිබුණි. රිටන් එකක ආසාවෙන් පෙලුණු අපිට මෙය මහත් මදි කමක් විය. නමුත් එයට අවශය අවස්ථාව අපට ලැබුනේ නිතැතින්මය.
එකල පංතියේ කිසිදු ගුරුවරයෙක් නැති විටක අපේ එකම කාර්ය වූයේ බජව් දැමීමයි. ඒ සඳහා වෙනම ටූල් කිට් එකක් අපිම සාදාගෙන සිටියෙමු. ඒ අතරට වීදුරු බෝතල් 4-5ක්, යකඩ තහඩු කිහිපයක්, ස්ටික් කිහිපයක් සහ තට්ටුවක් දැමූ විට පට්ට බේස් සහිත හඬ පිට වන ඩෙස්ක් දෙක තුනක් විය. අප සිටි ගොඩනැගිල්ල එක පිහිටා ඇත්තේ මැද මිදුලක එක් අන්තයක වූ අතර අපට අමතරව 6 සහ 7 වන ශ්‍රේණිද නුදුරින් පිහිටා තිබිණි. උසස් පෙල විද්‍යාගාරය සහ අපේ පන්ති හැරුණු විට තිබුණු එකම ගොඩනැගිල්ල වූයේ 6 සහ 7 වසරවල් පැවැත්වෙන ගොඩනැගිල්ල පමණි. පාසලේ අනිත් ශ්‍රේණි පැවැත්වෙන ගොඩනැගිලි බහුතරය මැද මිදුලේ අනෙක් අන්තයේ පිහිටා තිබූ අතර එම නිසා සැම විටම එහෙ මෙහෙ යන ගුරුවරුන්ගෙන් මැද මිදුල ගහණ විය. මේ නිසා අප බජව්ව දමන විට එය කණ වැකුණු ගුරුවරයෙක් ඉඳ හිට පංති කාමරයට පැමිණ සුන්දර වූ භාසාවෙන් දෙකක් තෙපලා යාම සාමාන්‍ය සිදුවීමක් විය.
නමුත් අප එය නවත්තන්නේ නැති බව ඔවුන් හොඳාකාරවම දන්නා අතර ඔවුන් අපට සැර වැර කිරීම් ද නොනවත්වන බව අප දැන සිටියෙමු. මෙසේ එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව මෙම බජව්ව අප චිරාත් කාලයක සිට පවත්වාගෙන ගිය අතර දැන් ඒ චිරාගත සම්ප්රදාය මල්ලිලා නවත්වා ඇති බැව් අසන්නට ලැබීම ද කණගාටුවට කරුණකි. මෙසේ බජව්ව දමන විට මැද මිදුලේ එහෙ මෙහෙ යන ගුරුවරයෙකු දුටු විට ඔහුට හෝ ඇයට අදාල පටබැඳි නාමයක් සහිත සිංදුවක් කීම අප පුරුද්දක් කරගෙන සිටියෙමු.
ඉතිහාසය ඉගැන්වූ අමරේ සර් යන විට "ඇයි බඹරෝ" ගීය අපි බේස් සහිතව ගැයුවේ අමරේ සර්ට බඹරා කියා නමක් පට බැඳී නැති නිසා බව මෙහි සටහන් කළ යුතුය. ඉහේ එකදු කෙස් ගහක් නැති සුනිල් සර් අහලකින් යන්නේ නම් "සඳේ ඔබ ඇයිද මේ යාමේ මිදුල කරා ඇදුනේ" යන ගීතය ෆුල් පිච් එකෙන් ගායනා කිරීම අතර කිසිදු සම්බන්ධයක් ඔබ නොදැකිය යුතුය. ඉඳ හිටක ගැයෙන "මන බැන්දු හද රැන්දු අදරැති සුර ලන්දු" ගීතය සහ පාසලට අලුතෙන්ම පත්වී එන තරුණ ගුරුවරියන් අතර ඇති සම්බන්ධයක් ගැන ඔබ වියවුලක් ඇති කර නොගත යුතුය.
මෙලෙස කීර්තිමත් ඉතිහාසයක් සහිත බජව් සංස්කෘතිය නතර කිරීම ගැන යම් තරමක අවුලක්ද අපට ඇත. කෙසේ නමුදු අපේ මේ චිරාගත බජව්වත් සමග අලුතෙන් ආ උත්තමාවියට සෑහෙන අවුලක් ඇති බව දැන ගැනීමට ලැබීම සෑහෙන තරමේ ප්‍රීතියක් දනවන්නක් විය. ඇය කලින් සිටි පාසලේ බාලිකාවන්ට මොන බජව් ද? වරක් දෙවරක් එහෙන් මෙහෙන් හොට දමා තර්ජනය කර යෑම ඇය නිතර සිදු කලද ඒවා ඉතින් හඳේය. හොඳම වැඩේ වූයේ අප 12 වසර අවසන් කිරීමට ඔන්න මෙන්න සිටියදීය.
එදින කුමක් හෝ වාසනාවකට එක් කාලච්ඡේදයක් නිදහස් විය. සිරිත් පරිදි බල්ටි දෙකක් ගසා ටූල් කිට් රැගෙන අප මියුරු සරින් ගී ගැයීම අරඹමු.එක එක සංගීත භාණ්ඩ වලට අදාලව විශේෂීව සිටියේ එක එක අයය. බෝතල් වලට කාසි වලින් ගැසීම බාරව හිටියේ අටපාන් ය. මේක මාර නමක් යැයි ඔබට සිතීම අතිශය සාධාරණය. මූ ඉස්සර හැමදාම පාසලට අරන් ආවේ පාන් පෙති හතරකි. ඒ නිසා මුලදී මේකාට සතර පාන් ලෙස නම් පට බැන්දෙමු. නමුත් පසු කාලීනව විකීමට පහසු වන ලෙස මූ පාන් පෙති හතර තවත් කැබලි අටකට කපාගෙන ආවේය. එදා සිට සතරපාන් අටපාන් විය.
කලින් පෝස්ටුවක මා සමග කණ්ඩායම් ප්රොජෙට්ටුවට තණ පිඩැලි බැලීමට ගිය කොට්ටෝරුවා සතුව හොඳම බේස් එක සහිත ඩෙස්ක් එක ඇත. ඩොල්බි ඩිජිටල් පරාදය. සෙබා මෙලෝ භාණ්ඩයක් වාදනය කිරීමට උස නැත. ඒ නිසා මේකා සරඹ සංදර්ශනයක් වැනි යමක් කිරීමට ඉදිරි පෙලක අසුන් ගන්වා ඇත. තහඩු වලට තට්ටු දැමීම හැන්ඩ්ල් ගෙනි. මේකා ඉන්නේ බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල්ලාක් මෙන් ඕල්වේස් ගේමෙනි. වෝකල් විකියාගෙනි. අපි බැක්ග්‍රවුන්ඩ් එකෙ හිඳිමින් ඉහත ඇති හැම අටමගලම කළෙමු.
නූතන ගායනයේ තීර්ථ යාත්‍රිකයා වූ කසුන් කල්හාරගේ පටන් හද්ද ගොබ්බ මරි මූසල බස් සින්දු දක්වා වූ සියලු ගීත අපගේ බෑන්ඩ් වපසරියට නතුවේ. ඉඳ හිට රැපක්ද කියූ අතර එය මෙලෝ මළ යකෙකුට නොතේරෙන බව සක් සුදක් සේ පැහැදිලිය.
එක් දිනක් මේසේ යව්වනයේ පොපියන චමත්කාරය බජව්වකින් විඳිමින් සිටින අතර අලුත් මැඩම් ඇයගේ හෝ අපගේ කරුමයකට අප පංති කාමරය අසළින් ගමන් කරන බව අපට පෙනී ගියේය. මෙය නම් මග හැරිය හැරිය නොහැකි චාන්ස් එකකි. හිටි හැටියේම ජනේලයෙන් එලියට බෙල්ල දැමූ අපේ සගයෙක් "චන්දන ඇල්ලෙන් නාලා" යැයි කෑගැසීය. මෙලෙස කෑ ගැසූ සගයාගේ අනන්‍යතාවය අදටද අභිරහසකි. අනෙකුත් අය එක් වී මොහුගේ බොටුව ජනේලයෙන් එතුලට ඇද නො ගත්තේ නම් මොහු තව පට්ට පතරංගයක් කීමට ඉඩ තිබුණි. කෙසේ නමුදු හොඳට හෝ නරකට මෙම චන්දන නම් වූ චරිතය ඇල්ලකින් නෑ විත්තිය මැඩම්ගේ කණ වැකී තිබිණි.
අම්ම ගසන්නේ බැට් එකෙනි. මැඩම්ගේ ඇස් රතු විණි. කණ් ඇඹරුණි. සහළවා දහඩියද දැමීය. පිට මැදින් වැටී තිබූ සාරි පටද අඹරවා ගත් ඇය ලහි ලහියේ අප පංති කාමරයට ඇදුණි. පිදුරංගල සිට සීගිරියට මොකක්දෝ අවයවයක් පෙන්වූවන් සේ අපිද බලා සිටියෙමු. ඇය පංතියට එන්ටර් වීමට පෙර සිට අපිද වෙන වැඩ කරමින් සිටි බව ඇඟවීමට එක එකා එක් එක් වැඩ ලහි ලහියේම ඇරඹුවෙමු.
අටපාන් ලයින් එකේ තම අත තිබූ බෝතලය ඩෙස්ක් එක යටින් තියා අත් දෙකින්ම එය සඟවා ගත්තේය. සෙබා කොහේදෝ සිට සොයා ගත් පොතක් මේසය උඩ තබා කියවන්නට ට්‍රයි කලේය. කරුමෙට එය කඩ්ඩ පොතකි. අපේ පංතියක හදිසියට ලබා ගත හැක්කේ කඩ්ඩ පොත් පමණි. ඒවා සුලබව ඩෙස් තුළින් සොයා ගත හැක. ගයා කොහෙන්දෝ සොයා ගත් වතුර බෝතලයක් ගෙන එය බොන්නට ගත්තේය. කොට්ටෝරුවා මේසය උඩ බුදිය. විකියා එහා පැත්තෙන් වූ ගැහැණු ලමයෙකුගේ භෞතික විද්‍යාව පොතක් අනිත් පැත්ත හරවා බලන්නට ගත්තේය. මූට පොතේ පැත්ත වැරදි යැයි ක්ලික් උණේ සෑහෙන වේලා ගියාට පසුවය. ප්රිෆෙට්ටුවෙකු වූ ඇලන් සාවධානව ඌට එහා පැත්තේ සිටි හැන්ඩ්ල්ට කාබනික රසායනයේ මූලික සංකල්ප පහදන්නට විය. හැන්ඩ්ල් ද "හ්ම් හ්ම්" කියමින් අසාගෙන සිටිය අතර, ඉඳලා හිටලා "ඒක ඇත්ත මචෝ" කීවේය.
මම ද කරන්නට දෙයක් සෙවූ නමුදු මෙලෝ දෙයක් සෙට් උණේ නැත. බොක්ක පුරා ඔඩු දුවන හදිසිය පසෙක තබා මමද සටහන් පොතක් අතට ගතිමි. කෙළලා එන්නේ දැන්ය. පොතක් සහ පෑනක් තිබ්බට ලියන්නට මෙලෝ මළ දානයක් නැත. අවසානයේ ලියවුනේ පුරුදු එකමය. "ආවාට තිබුණත් නිසසල හද මත කඳුලින් තෙමනු එපා. ඔබේ නිදොස් බව ලොවට කියන්නම්, මට දොස් නගනු එපා." එලකිරිය. දැන් පංතිය සාන්දය, දාන්තය, දැහැමිය, නිශාචරය, මූසලය, අත්තනෝමතිකය.
එතකොටම ඕන්න මැඩම් පංතියට සැපත් විය. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තය. පංතියට එන්ටර් වූ සැණින් ෆුල් හින්දුස්ථානී ටිලිං බැල්මක් පන්ති කාමරය සිසාරා හෙළූ ඇය අවසානයේ නැවතුනේ ඇලන් අසළය. ඔහු ප්රිෆෙට්ටුවෙක් නිසා බොහෝ විට පන්තියේ සිදු වන අවැඩ ආදියෙහි සාක්කිකරු වූයේ ඔහුය. අපේ පංතියේ පුරුෂ ප්රිෆෙට්ටුවන් දෙදෙනෙකි. එකෙක් මා කියූ ඇලන් ය. අනිකා බගා ය. බගා ඉස්සර නම් ටිකක් විතර හොඳය. මූගේ අලුගුත්තේරු වැඩ පටන් ගත්තේ ඌ ප්රිෆා ඌවාට පසුවය.
උදේ රැස්වීමකදී භාවනා කරන වේලාවේදීද වැඳගෙන සිටි නියෝජය විදුහල්පතිට ගලක් ගසා හොඳ සිහියට ගත් බගා හදිසි වැටලීම් වලදී අපිට කලින් දැනුම් දී කොල්ලන්ගේ හොර භාණ්ඩ ලෙස ගණන් ගැනෙන පෙන් ඩ්‍රයිව් ෂොපිං බෑග් වල දමා මල් පාත්ති අස්සේ වල දැමීය. ඌ අද පාසල් පැමිණ නැත. ආවා නම් තව ආතල්ය.
නැවත කතාවට එන්ටර් වුවහොත්, කෙසේ නමුදු ඇලන්ගෙන් විමසන සාක්ෂි අර හොරාගේ අම්මගෙන් පේන බැලීමක් වැනිය. මෙම සාක්ෂි විමසීමෙන් පසු පන්තිය තුළ ශබ්ද නගා සිංදු කීම ගැන තර්ජන කිහිපයක් මැය සිදු කළාය.අවසානයේ ඇය ඇලන්ගෙන් "තමුසෙලාට සදාචාරයක් නැද්ද මෙහෙම පංතියට වෙලා කෑගහන්න?" යැයි විමසීය. ගත් කටටම ඇලන්ගේ පිළිතුර වූයේ "නෑ මිස්" යන්නයි. කණ් දෙකට ඇසුණු දේ අදහා ගන්නට නොහැකි ලෙස ඇස් ලොකු කර ගත් ඇයට අදහා ගන්නට බැරි වූයේ මෙතරම් බල පරාක්‍රමයක් විදුහලේ පැතිරවූ තමන්ට නිකම්ම නිකම් මිස් ලෙස මේ නොසණ්ඩාල කොලුවා ඇමතීමද නැතහොත් මුංට සදාචාරයක් නැත ලෙස පිළිතුරු දුන් නිසාද යන්න මට තවමත් ගැටළුවකි. මහ දවල් අවතාරයක් දුටු ලෙසින් ඇස් දෙක දඩාර සයිස් කර ගත් ඇය නැවතත් "තමුසෙලාට සදාචාරයක් නැද්ද?" යැයි විමසූයේ රීඩයල් කර නැවත යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීමට විය හැක. නැවතත් ඇලන්ගේ ක්ෂණික පිළිතුර වූයේ "නෑ මිස්" යන්නයි.
මෙම අනපේක්ශිත පිළිතුර ඇසීමෙන් සහ මැඩම්ගේ වික්ෂිප්ත මුහුණ දෙස බලා සිටි අපට බොක්ක සිසාරා හද පතුලෙන්ම පට්ට සිනහවක් නැගීගෙන ආවේය. මුලින්ම සිනහ ගියේ අටපාන් ටය. එවිටම ඔහු විසින් මේසය යට සිර කරන් සිටි වීදුරු බෝතලය බිම වැටිණි. හොඳ වෙලාවට එය බිඳුණේ නැත. "ස්ලාං" ශබ්දය ඇති කරමින් එය ගුරුවරියගේ දෙපා මුලට පෙරළී ගියේය. පංතියේ තීන්ත ආලේප කිරීමට යොදා ගත් හිස් තිනර් බෝතලයක් වූ එය කිරි කිරි ශබ්ද නංවමින් ගොස් අවසානයේ නැවතුනේ ඇයගේ දෙපා මුලයි. ආතල් සිද්දිය වූයේ මුලු පංතියම මීයට පිම්බාක් මෙන් මෙලෝ සද්දයක් නැති වෙලාවක වීදුරු බෝතලයේ කිරි කිරි සද්දය ඇසීමයි. මින් පසු පංතියේ තැන තැන සිනා හඬවල් නැගෙන්නට විය.
මා අසල වතුර බොමින් සිටි ගයාට බකස් ගා හිනා ගියේය. කරුමෙට ඌ බොමින් සිටි වතුර එක ඉස්මොල්ලේ ගිය අතර ඉස්මොල්ලේ ගිය වතුර සිනහවත් සමග නහයෙන් එලියට විද්දේය. ඔබත් මෙය අත් හදා බලන්න. නමුත් සයිඩ් එෆෙක්ට් ලෙස නාසයේ දැවිල්ල සහ කැස්සක් ඇතිවිය හැක. ඉන් පසු ගයා ඉස්මොල්ලේ ගිය වතුරට හරි යන්න මහ හයියෙන් කහින්නට පටන් ගත්තේය. ඒ අසළම උන් මා ආතල් එකටත් එක්ක ඌගෙ පිටට කිහිපවිටක් තඩි බෑවෙමි.
මේ අතර මිස් බිමට පාත් වී තිනර් බෝතලය ඇහිඳ ගත්තාය. ඉන් පසු ඔරවා ගත් දෙනෙතින් යුතුව අප දෙස බලා හිඳින්නට විය.
එක් පසෙකින් තිනර් බෝතලය අතින් ගත් නහුතෙට රොස් වූ මිස් ය. අනික් පසින් නිස්කාන්සුව හිටං ඉන්නා ඇලන්ය. එක් පසෙකින් සාරි පොට කොහු ලණුවක් මෙන් හති අතේ අඹරවන මිස්ය. අනෙක් පස වතුර ඉස්මොල්ලේ ගොස් ඇස් උඩ දාන් දඟලන ගයාය. එක් පසක රත් වූ ඇස් ලොකු කරන් වැලමිට රිවස් වූ මැඩම් ය. අනෙක් පස උඩ පැන පැන ගයාගේ පිටට නෙළන මාය.
"තමුසෙලා පංති අස්සට වෙලා කරන්නේ මෙව්වා නේද?" කියා ඇය තිනර් බෝතලය අපිටම පෙන්නමින් ගර්ජනා කරන්නීය.
ඇත්තටම මිස් එවෙලේ කිව්ව උලව්ව මට ක්ලික් උණේ නැත. හිස් තිනර් බෝතලයක් සමඟ කාමරයක් අස්සට වී කරන්නට දෙයක් විලි සංගයක් ඇති මනුස්සෙක්ට නම් ඇත්තේම නැත.
"තමුසෙලා පන්ති අස්සට වෙලා මෙව්වා ගෙනල්ල තියාගෙන බොනවා නේද?" මිස් නැවත ගර්ජනා කරයි.
මිස් අහන්නේද ඇඳිවත ලිහෙන ප්රශ්නය. පවුල් ප්‍රශ්න ඇති අයෙක් මිස සිහි බුද්දියක් ඇති මෙලෝ මිනිහෙක් නොබොන දෙයකි තිනර්. වැඩේ සෙට් වෙන්නේ දැන් ය. මිස් තිනර් බෝතලය ගල් බෝතලයක් හෝ පොල් බෝතලයක් සමග පටලවාගෙනය. අපි නම් බල්ලන්ට ගසන ගල් මිස වෙන ගල් බෝතල් හෝ දෙයියන්ට ගසන පොල් මිස වෙන පොල් බෝතල් එකල නොදැන සිටියෙමු.
ෂුවර් එකට මිස් කලින් වැඩ කල බාලිකාවේ අයෙක් තිනර් බී මාට්ටු වන්නට ඇත. කෝමත් බාලිකාවෝ ගල්,පොල් හෝ තිනර් දන්නේ නැත. දැන් ඉන්නා අය දන්නවාදැයි මම දන්නේද නැත. කෝම හරි දැන් වැඩේ හුට පරිඥය. මිස් පට්ටෙට දිරච්ච ලණුවක් කා තිබේ. මීට වඩා සතුටක් වෙන කොයින්ද?
දැන් නඩුව විභාග වෙයි. මුල්ම ප්රශ්නය අටයාටය.
"තමුසෙට කොයින්ද මේ බෝතලේ?" අටයාට කෝමත් මෙලොව සිහියක් නැත. ඌ උඩ බිම බලන්නට ගත්තේය. ඊලඟ ප්රශ්නය ඌ ගාව සිටි මටය.
"තමුන්ට කොහෙන්ද මේ බෝතලේ?"
"ඔන්න ඔහේ තිබ්බ මිස්" හද්දා අමාරුවෙන් වචන දෙකක් ගලපා කියා ගත්තෙමි. උණ්ඩුක පුච්ඡයේ සිට බොක්ක සිසාරා කලඹන සිනහවක් ඇදී එයි. නමුත් සිනාසී බැරිය. ටොපිය කෙසේ හෝ දී ගත යුතුය.
තවත් දෙතුන් දෙනෙක්ගෙන්ම මේ ප්‍රශ්නයම ඇසූ නමුදු සියලු දෙනාම මෙම බෝතලය ඔන්න ඔහේ සිට ලැබුණු බව පැවසූහ. දැන් ඉතින් මිස්ට ජය මඟුල් ය. උසස් පෙල පංතියක් බුලක් කෙළ තිබේ. මොවුන් පානයට නුසුදුසු පාන පංතිකාමරයට ගෙනවිත් ඒවා අමුවෙන් පානය කරන අතර, එව්වා බී තෙල වැඩි වී සිංදුද කියති. අවසානයේ අසික්කිත වූ මෙම කොලුවන් වයසද තරාතිරමද නොබලා තමන්ටද කෙළින්නට ඇවිත්ය. අර මොකාද කුරුල්ලෙක් ගස් වලට කොටා අවසානයේ කෙසෙල් මුවට කෙටූ හැඟීමක් මිස්ටද ඇති වෙන්නට ඇත.
ගයා තවම කහී. මම තවම ඌගේ පිටට කෙලිමි. ඇලනා තවම නැගිටගෙනය.අටයාට තවම නිනව් නැත. සෙබා ඉන්ග්‍රීසි පොත කියවීම අත් හැර දමා ඇත. හැන්ඩ්ලා තවම "හ්ම්" කියමින් "ඔව් මචං" කියයි. ඇලන් නැගිට ඇති බවක් වත් ඌට නිනව් නැත.
ඒ අස්සේ මිස්ට ජය මඟුල් ය.
"මම මේක ඉහලටම අරන් යනවා" කියූ ඇය බෝතලයද රැගෙන සාරි පොටද අඹරවාගෙන එලියටම ගියාය. අප සිටියේ තනි මහලක් සහිත ශාලාවකය. තව උඩට යන්න නම් පලංචි බැඳිය යුතුය. ඒකට දෙකේ දෙකේ පොලු අවශ්‍යය.අපි මිස් දෙකේ දෙකේ පොලු රැගෙන එනතෙක් රැකගෙන සිටියෙමු. එවිටම හුස්ම හිර වූවෙක්ගෙ හඬක් ඇසිණි.
"බොල වල් වානරයො තෝ පිටට ගැහුවා මදැයි. තව ටිකෙන් මං මැරෙන්නේ වතුර හිර වෙලා නෙවෙයි තොගේ ඔය අලුගුත්තේරු පාරක් නරක තැනකට වැදිලා." ගයා හිටි හැටියේ මොනාදෝ කියවන් යන ලදී. පිටේ ඇති නරක තැන් ඌගෙන් පසුවට අසා ගත යුතුය. කෙසේ හෝ මා ඒ වන තෙක්ම ඌට තලා ඇත. එවන් චාන්ස් සෙට් වෙන්නේ කලාතුරකිනි. එබැවින් එවැනි අගනා අවස්තා මිස් කර ගැනීමට මා කිසිසේත්ම කැමති නැත.
දැන් ඉතින් අනිවා අර උත්තමාවෝ අංශ භාර ගුරුවරයා හමු වීමට යනු ඇත. ඉන් පසු එතනින්ද ඉහලට ගොස් විදුහල්පතිතුමා කරාද යාමට ඉඩ ඇත. ඒ වන තෙක් ගියොත් නම් එල ය. මිස් ගස්සාගෙන ගිය පසු අපිද එහෙට මෙහෙට වී නියමිත තැන් වල අසුන් ගෙන අනීවාරතේ පිලිවෙල වීමු. දැන් ඉතින් දවස් හතක් ජප කල පිල්ලියක් තව සුළු මොහොතකින් පරල වී ඇවිස්සෙනු ඇත. දැන් දැන් සපත්තු ගැටෙන ටොක් ටොක් හඬ ද ඇසෙයි.
අපිද උඩට ගොස් තිබූ වාසුලියකට හසු වූ කොණ්ඩ හොඳින් පැතලි කර පැත්තට පීරා සංවර වීමු. කලිසම් ද තරමක් උඩට ඇඳගෙන විනීත වීමු. උඩින් දමා ගත් ෂර්ට්ද යට කරමින් ශිෂ්ට වීමු. උඩ හරියෙන් ගලවා තිබූ බොත්තම් නැවත දමා ගනිමින් සීලාචාර වීමු. දැං ඉතින් සක්කරයාගේ පුතා වයිමා ආවත් අවුලක් නැත. අපි සිරිලක බොදු දරුවන් වීමු. ඇල් වතුරද නිවා පානය කරන්නන් වෙමු. සිරිමත් ටද උදයම පිබිදී මුහුණට දිය දෙන්නට පුරුදු කළ ඇත්තන් වීමු.
ස්වල්ප මොහොතකින් අංශ ප්‍රධාන ගුරුතුමා පංති කාමරයට සැපත් වීය. ඔහුට පිටු පසින් පට්ට සාඩම්බර පෙනුමක් සහිතව මිස් ද සැපත් විය. සාරි පොටේ ඔතා ගත් තිනර් බෝතලයද ඉපිල්ලී පෙනේ. අංශ භාර ගුරුවරයා විජේ සර් ය. පාසලේ ගරුත්වය රැක ගැනීමට නිතර කටයුතු කරන ගුරුවරයෙක් වන මෙතුමා තමන්ගේ අංශයට වෙනත් අය හොස්ස පෙවීම කිසිසේත්ම නුරුස්සන්නෙකි. පොළවට වඩා අඩි දෙක තුනක් ඉහලින් යන ඊයේ පෙරේදා ගොඩ බැස්ස චරිත තම අංශයට හොම්බ දැමීම සර්ට ද අවුල් මහා ලාතරස් සීන් එකකි.
සර් කෙළින්ම පැමිණි කාරණයට බැස්සේය. එහිදීද කරුණු විමසනු ලැබූයේ ඇලන්ගෙනි. ඇලන් දුන් සාක්ෂි වලට අනුව එවෙලේ අපිට තිබුණේ ඉංග්‍රීසි කාලච්ඡේදයක් වන අතර අදාල සර් එදා පැමිණ නැත. එමනිසා අපි සදාචාරාත්මකව පංති කාමරයට වී තම තමන්ගේ වැඩක් බලාගෙන හිඳ ඇත. මිස් විස්තර කරනා අන්දමට චන්දන ඇල්ලෙන් නෑ සීන් එකක් නම් කිසිසේත්ම සිදු වී නැත.
මිස් ද හොඳම තුරුම්පුව අන්තිමට තබා ගත්තා සේ හිඳ අවසානයේ
"මෙන්න සර් මේ ලමයි බොරු කියනවා මදිවාට කරන වැඩ. බලන්න මේ අලුත්ම බෝතලයක් මේක මට දැන් මේ පංතියේ බිම තිබිල හම්බ උණේ" කියමින් අර අසරණ තිනර් බෝතලය සර්ට ප්රදානය කරන ලදී. සර් ද එක විටම උඩ බිම බැලීය. දෙතුන් වරක් ඇස් පිල්ලන් ගැසීය. සර් වවා තිබූ උඩු රවුලේ දෙකෙලවර උල් විය. පංතියේ සේරම දැන් අග්න්‍යාශය පුපුරා යන සිනහව තද කරන් බලන් හිඳී. විජේ සර් කට කොණකට සිනහවක් ගෙන
"මේක කොයින්ද ඔය ගොල්ලන්ට?" කියමින් අප දෙසට හිනැහුණේය. ඉන් සර්ටද මාර ත්‍රිල් එකක් යන්නට ඇත. අවසානයේ අටපාන් කට ඇරියේය.
"සර් ඕක ජනෙල් වල තීන්ත ගාද්දි ගෙනාපු තිනර් බෝතලේ. මේ මිස් පංතියට ආපු වෙලේ ඕකත් අරන් අපිට බැනලා ගියා." යැයි කීවේය. දැන් කොයිල් වී ඉන්නේ මිස් ය. එවේලේ මිස්ගේ මුහුණේ සටහන් වූ හැඟීම් ඡායා රූපයක් ලෙස තබා ගැනීමට තිබුණා නම් ආතල් එක සියල් සපිරිය.
ආපු පංතිය හරිදැයි ඇය නැවත විමසන්නීය. සර් සිනාසෙමින් තිනර් වල උවමනාව කෙටියෙන් ඇයට පැහැදිලි කර නැවත ආපු දිහාවටම ගියේය.
සර් පිට වූ විගසම අපිට හිනා වෙන්නට ඉළ නැත. මිස්ට වැඩේ ක්ලික් වූයේ දැන් ය. පාසලට පැමිණ කෙටි කලකින්ම තමා තිනර් බෝතලයකට ආත්මය පුදා ඇත. තමා 10 වසරේ කොල්ලෙක්ගේ සාක්කුවේ තිබූ සියඹලා ටොපියකට ජෙල් පැකට් එකක් යැයි රැවටුණේ ඊයේ පෙරේදාය.ඒකට ස්ටාෆ් එකේ අය තවම සිනා සෙයි. හෙට වෙද්දි මේ කේස් එකත් පාසලම දැන ගන්නවා ඇත. මෙසේ ගියොත් නම් මැද මිදුලේ වලක් කපාගෙන වැලලෙන්නට වෙනු ඇත.
දැන් කෝම හරි පංතියේ ඉතිරි වූයේ අපි සහ මිස් පමණි. අපි උවමනාවටත් වඩා එදා සිනාසීමු. රත් වූ යකඩය හොඳින් තලා ගත යුතුය. ඇයද දැන් රතු වී ඉදිමී තැරි ගැසී ගොස් ඇත.
"තමුසෙලා කියන්න එපැයි මේක තිනර් එකක් කියල" ඇය වැරෙන් තර්ජනය පටන් ගත්තාය.
"එහෙම මුලදිම කිව්වා නම් මිස් අරේම චාටර් කන්නේ නෑනේ. නෝණ්ඩියක් හම්බ වෙන්නෙත් නෑනේ, කිච වන්නෙත් නෑනේ. එතකොට අපිට ලල් එකක් නෑනේ මිස්" මම එහෙම සිතුවා පමණි, කටින් කිව්වේ නැත.
හම්මෝ මිස්ට කේන්ති ගියාම මාර සැරය. ඇස් අස්සෙන් පනින්නේ ගිනි පුලිඟු වීමට බැරි නැත. නමුත් අපිට නම් ගාණක් වත් නැත. මිස් ද පරාජය භාර ගැනීමට කැමති නැත. මේ මිස්ගේ තවත් පුරුද්දක් වූයේ වත්තේ ඇති හැම අටමගලක් වටාම මල් ගස් සිටුවීමයි. ඉස්සර යසට ෆ්ලැට් එකට තිබූ අහු මුලු දැන් ලඳු කැලෑ වී ඇත. හදිසියකට වලියකදී දුවා ගැනීමටද නොහැක. නිදහස් කාලපරිච්ඡේද වල සිටින කුඩා පංති වල ලමයි ගෙන්වාගෙන මේවායේ ඇති නිදි කුම්බා ආදිය ගැලවීම මැය සිරිතක් ලෙස කරගෙන ගියාය. ඒවා නම් මහා ඉහේ ඇම්ම හැදෙන වැඩය. අපටද මෙම කුරිරු දඬුවම සෙට් කිරීමට ඈට සිතක් පහළ වී ඇති සේය.
"ගිහින් අර සෙක්ශන් එක ගාව මල් පාත්තිය සුද්ධ කරනවා" ඇගේ විධානය අපිටය. නමුත් මොකෙක්වත් ප්‍රතිචාර ලෙස නැගිටින පාටක් නැත.
"ඇහුන් නැද්ද මම කිව්ව එක, යනවා ගිහින් ඒක සුද්ද කරනවා ඉතින්." ගෝරනාඩුව වැඩි විය. නමුත් සෙළවුනේ නම් අපි නෙවේය. තැනින් තැන කණුකුණුවක් ඇසේ. නැවතත් ඇලන් නැගිටගෙනය. නමුත් ඌද උත්තරයක් නොදෙයි.
"යන්නයි කිව්වේ දැන්මම" දැන් නම් මිස්ට සෑහෙන්නම මළ විද ඇත. ඒත් අපිට ගාණක් නැත.
"අපෝ බෑ මිස්" වැනි කියුම් තැනින් තැන ඇසෙයි. මිස්ටද කර ගන්නට දෙයක් නැත. අංශ භාර සර්ට චාටර් උණා අදට ඇතිය. මුංවද ආණ්ඩු මට්ටු කරන්නට බෑ වගේය. එකෙක්වත් නැගිටින පාටක් නැත. මිස් වමතින් අල්ලාගෙන සිටි සාරි පොට එක් වරම වමතට මාරු කරන ලදී. නහයෙන් දුම් පිටවන සද්දය දැන් දැන් ඇසේ. අපිද මිස් දැන් කඩන් පනී, පැනල කාව හෝ කාවි යන හැඟීමෙන් බලන් සිටියෙමු.
ම්ම් හ්ම්. ප්‍රතිචාරයක් නැත.
මෙසේ ටික වේලාවක් එහෙට මෙහෙට දුම් පිඹිමින් සිට මිස් ප්‍රාධූර්භූත විය. නමුත් ඇය සටන නම් අත් හැර තිබුණේ නැත. වරක් පුස්තකාලයේ පොතක් ප්‍රමාද වී බාර දුන් අප පංතියේ ලෝටස් හට පුස්තකාලාධිපතිට වඩා බැන තිබ්බේ මේ මිස් ය. එසේ බැනීමෙන් අනතුරුව කාර්යාලයේ තමගෙ ලියුම් වලට සීල් වගයක් ගසා දෙන ලෙසද අණ කර ඇත. ලෝටා එවෙලේද "අපෝ බෑ මිස්" කියා නැවත මග හැර පැමිණ ඇත. තවත් විටෙක අප හත් දෙනෙකු බිත්තියකට කකුල් තියාගෙන සිටිද්දී මාට්ටු වූ අවස්ථාවකදී ඇය ඥං පචං කියාගෙන ආ අතර අපි නම්බු පිට විදුහල්පති අනුමැතිය සහිතව මුලු ගොඩනැගිල්ලේම තීන්ත ආලේප කලෙමු. කෙසේ හෝ අප පාසලෙන් බැහැර වන තෙක්ම මේ මිස් අපිව පස්සේන් පැන්නූ බව නම් නොරහසකි. විටෙක මහා කංකරච්චලයක් වුවද ලණු ඇදීමෙන් ගත් ෆන් එක නම් අසමසමය.