Search This Blog

Sunday, June 3, 2018

හදන මත

කාලෙකින් බ්ලොග් එකක් ලියන්න සෙට් උණේ. මේ කාලෙට සෑහෙන සමාජ විපරියාස සිද්ද වෙලා. ඒ විපර්යාස මගේ බොක්කේ ‍ෆිට් වලටත් බලපාලා. උං සෙට් එක පීදිලා, පැහැබර වෙලා, කුජීත වෙලා. සමහරුන්ට වසන්තය උදා වෙලා. උංගේ කටේ හිට හිම.
                                             දැන් එක එකා සී සී කඩ විසිරිලා ගිහින්. නිකම් නිවුඩ්ඩ හුලඟේ ගියා වගේ. මුලින්ම බලන්න ඕනි පද්මෙයාට මක් උණාද කියලා. පද්මේ දවසක් ගිහිල්ල කඩේකිං ප්ලේන්ටියක් බොන්න. ආනමාලුවක් කන ගමන් මේන් මුන්දැ ලන්කාවේ තියන උතුරා ගිය දේශාබිමනෙන් ඔද වැඩිලා ජාත්‍යානුරාගය ඉස්මොලේ ගිහිල්ලා කඩේ මුදලාලිගෙන් අහලා
"මුදලාලි මේ ආනමාලු ගෙඩිය හලාල් ද?" කියලා.
 ඒක අහපු මුදලාලි ලඟ තිබ්බ දෙකේ දෙකේ පොල්ලක් අරන් පද්මෙව මසාජ් කරලා. ඒ මුදලාලි අර නල්ලම ලේ සංගමේ එකෙක්ලු. මූටත් තැනකට ගියාම කට පියන් ඉන්න බෑනේ.   ඕකා දැන් නාට්ටි ලියනවා කියලා ආරංචියක් ආවා. විපරම් කරලා බැලින්නම් වැඩේ ඇත්ත. මූ සිරාවටම නාට්ටි ලියනවා.හැබැයි මූ ලියන නාට්ටි නිකම් ජිල් බෝල හොදි වගේ මෙලෝ රහක් නෑ. මූ සදාචාරෙන්නේ දෙන්න යන්නේ. 

                             ඒකේ කතාව මෙහෙමයි. වතාවක් ඉස්කෝලේ පෙන්නන්න තිබ්බ නාට්ටියක් ලියවගෙන තිබ්බේ පද්මෙට කියලා.අලි දුවයි අපි තැලෙයි. මූ ආයේ ලියලා තිබ්බා නාට්ටියක් ලොවෙත්ම නෑ. ප්‍රේම ජවනිකා නෑ, තිබ්බ ඒවා යද්දිත් ස්ටේජ් එක ඉස්සරහ ඉන්න එකෙක් බෝඩ් වගයක් උස්සන් ඇවිල්ලා දර්ශනේ වහලා එතන බොඳ දර්ශනයක් කියලා පෙන්නනවා. ගහ ගන්න සීන් දෙක තුනක් නම් තියේ. ඒ උනාට ඒවායේ ආයුධ නෑ. තියෙන්නේ ගස්ලබු පෙතියි ප‍තෝල කරලුයි. ලේ හැලෙන දර්ශන නෑ. ඒ වගේ දර්ශනේකදි කස කසා ඇට ඉවත් කල සරුවත් ටිකක් හලනවා ස්ටේජ් එක උඩ ඉන්න එකෙක්. මත් පැන් බොන දර්ශන නෑ. බොන එකා වීදුරුව උස්සද්දිම අර බෝඩ් කාරය තිරේ බොඳ කරනව. මං හිතන්නේ බොන එකා වීදුරුව අරගෙන ඒක ඉඹලා ආයේ තියනව.
                               ළමා සිත්සතන් පවි‍ටු අරමුණු වලින් බේර ගන්න එකලු මුගේ මූලික අරමුණ. මූගේ පවි‍ටු වැඩ ගැන දන්නේ අපිනේ. ඊටත් ලංකාවේ එවුන්ගේ තැලෙන්නම තියන සිත නෙහ්.හහ් මේකේ හොඳම වැඩේ කියන්නේ මූ නාට්ටියට යූස් කරපු දෙබස්. දැන් මුගේ අරමුණ දැහැමි නාට්ටියක් කරන එකනේ. ඒ හින්දා "බං, බොලං" බෑ. බැන ගැනිලි බෑ. ඒ හින්දා ඒකේ ඉන්න කොල්ලා හුරතල් අලේ. දුස්ටයා ඊට වඩා සුරතල්. නාට්ටියේ එක තැනක තිබ්බා කෙල්ල සහ කොලුවා කැලේ මැදින් යද්දි දුස්ටයා ඇවිල්ල කෙල්ල පැහැරන් යන තැනක්. එතන දෙබස් උනේ මාරම ආතල් විදියට,
"හහ්, ඔයා ආවේ මගේ පෙම්වතිය අරන් යන්නද අයියේ?" කොල්ලා අහපි.
"ඔව් මල්ලි, අනේ කරුණාකරල මට දෙන්න එයාව පැහැරන් යන්න." දුස්ටයා පිණ්සෙන්ඩු වෙනවා.
"ඒක හරි වැඩක්නේ හහ්, ඔයා කෝලා බෙයා" (මෙතනට මා යෝජන කළ වචනය හාත්පසින්ම වෙනස් එකක් ඌවද පද්මේගේ වාරණ කතුරට එය කැපිණි.) කොල්ලා ගේම අදිනවා.
"හහ්, මට කෝලා බෙයා කියන්න ඔයා කවුද මල්ලි, හහ් ගඳ ගහන නරක සලබයා, දෙන්නයි කිව්වේ ඔබේ ප්‍රේමවන්තිය මට පැහැරන් යන්ට, හාද?"
"බෑ දෙන්නෙම නෑ, ඔයා හරි නරකයිනේ අයියේ." කොල්ලා කියනවා.
"හහ් මල්ලි, මාව ඔතනට ගෙන්න ගන්න කලින් ඔන්න ඔය වත්ත වටේ යන නංගාව මෙතනට එවන්න, ඔන්න මාව තරහ ගස්සන්නයි යන්නේ ඔයා." දුස්ටයා කියපි.
"අය්යා හොඳම නෑ. ඔයා නරක සොරා. මෙයාව අරං ගියොත් ඔයාට මං කෙළ ගහනවා." මෙහෙම කියලා කොල්ලා ඌ ගාව තියන කෙසෙල් ගෙඩියක් අරන් ලෙල්ල අයින් කරලා දුස්ටයා දිහාවට යවනවා.
 ඒක ඇනුනු ගමන් උඩ ඉඳන් එකෙක් චෝස් ගාලා සරුවත් ටික හලනවා. දුස්ටයා හාන්සි. ඊට පස්සේ කොලුවා මෙහෙම කවි කියනවා.

ගිරිලිඳු සේම ඉගිළුණු මේ ගොන්               වස්සා
සිතුවෙහු මගේ කෙලී ගනු ලැබුමට           උස්සා
සැණිනිඳු ගේම ඇද්දෙමි මම නැත        කොස්සා
ඉස්බක් නැගී පෙළහර පෑ මම                   දස්සා

එදා සිඟිති කල සිට නැගි                        පුරාවත
දික්වෙයි දසවසක් මේ පෙම්              කතාපොත
නැගී රඟන්නෙමු අපි හෙට                    වළාමත
ගයනෙමි මෙතැන් සිට මම පෙම්            අමාවිත

කියලා කෙල්ල අරන් ටාසන් වගේ හූ කියාගෙන ඇවිදන් යනවා. ප්‍රේක්ෂකයෝ හාන්සි. මූ මේක ක්‍රයිම් ඇන්ඩ් ඇක්ෂන් කැටගරි එකට දාලා තිබ්බට මේක සිරාවටම ගියේ කොමඩි සහ දැහැමි කැටගරි එකට.
                           කෝමහරි පද්මේ බලාපොරොත්තු උනු සමාජ විපරියාසේ මේ නාට්ටිය හරහා සිද්ද උණේ නෑ. ඌ හැදුවේ මනමේ වගේ නාට්ටියකුයි වර්තමානේ යන මෙගා ‍රැල්ලේ නාට්ටියකුයි එක්තැන් කරලා නූතන ටෙලි කතා සම්ප්‍රදායේ වීරයා වෙන්න. අවුලක් නෑ ඉතින් දැන් මෑන්ස් හිත හදාගෙන ක්ෂේත්‍රයෙන් මිදිලා ඉන්නවලු.

                        පර්නෑන්ඩූට නම් එක පාරටම මොනා උණාද කියලා හිතා ගන්න බැරුව හිටියේ. පස්සේ ආරන්චි උණේ. එයා සත්තු වත්තේ වැඩ. මං මුලින්ම හිතුවේ සතෙක්ටවත් රඟපානවද කියලා. මුලින්ම නම් එහෙම තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ආරන්චි උණා පර්නෑන්ඩූ සත්තු වත්තේ හුලන් පෙති විකුණලා. මෙයා එව්වා විකුණද්දි විකුණන්නේ
"බබාට කැරකෙන පෙති..බබාට කැරකෙන පෙති" කිය කියාලු. පස්සේ මෙහෙම බිස්නස් එක කරන් යද්දි මේක පොලිස්කාරයෙක්ට ඇහිලා. ඌ හිතලා තියෙන්නේ කැරකෙන පෙති කිය කියා විකුණන්නේ මත් වෙන පෙති ජාතියක් කියලා. ඌට හිතිලා නෑ ඒ රූන් පෙති කියලා. විකුණන්නෙත් බබාට කැරකෙන පෙති කියලානේ. ඒ කේස් එක දිගට ඇදිලා පර්ණෑන්ඩු මේ ටිකේ ඇප පිට එලියේ ඉන්නේ. දැන් එයාට රූන් පෙත්තක් නිකම් දැක්කත් ඌරු ජුවල් නගිනවා.

                           ඩබල් ඩී ගැන ඉස්සර ආපු ආරංචි එච්චර හොඳ නැති හින්දා මම වැඩිය එබිකම් කරලා හොයන්න ගියේ නෑ. ඒ උණාට පස්සේ ආරංචි උණා ඩබල් ඩී දැන් අලුත් බිස්නස් එකක් පටන් අරන්. පාරවල් අයිනේ බෝඩ් දාගෙන පළතුරු විකුණන බිස්නස් එකකට බැහැලා. මේකා මුලින්ම විකුනුවේ ඇට නැති නාරං. ඔයාලත් දැකලා ඇති එව්වා. ඒවයෙ කන්න දේකුත් නෑ. මම නම් ඒවා කන්නත් බයයි. ඇට නෑ කියන්නේ කෝම හදනවද දන් නෑනේ. මොනා උණත් දොඩම් වල ජාතකේ හොයන් නැති උං කනවනේ. ඒවයේ ලෙලි ගැහුවාම ඉතුරු වෙන එකකුත් නෑ.
                     මුන්දැ අප්‍රිකාවේ රසම බේබි නාරං කියලයි විකුණුවේ. ඒක හොඳට ගියා.ඒක හරි ගිය හින්දා මුන්දැ වෙන වෙන බිස්නස් වලටත් බැස්සා. පළතුරු තමයි ඉතින්. කොහේ හරි උලව්වක ගිහින් පළතුරු හොයං ඇවිල්ලා අර ඇට නෑ කියලා ගහපු බෝර්ඩ් එකෙ උඩට පළතුරේ ගමයි යටට පළතුරේ නමයි දාල විකුණුවා. උලපනේ ඇට නැති දොඩම්, පනාමුරේ ඇට නැති ජම්බෝල විකුණන කම් වැඩේ හොඳට ගියා. කෙලල එන්න උණේ යටියන්තොට ඇට නැති දෙළුමුයි පදියපැලැල්ලේ ඇට නැති රටකජුයි විකුණන්න ගියාම.
                                                       කෝම හරි මේකාට ගාණක් තිබිලා නෑ. මුන්දැ පළතුරු විකුණන හරියේ උදේ හිට වාහන ඇක්සිඩන්ට් වෙනවලු. බැලින් නම් වාහන වල යන එවුන් බෝඩ් එක කියවලා මොලේ මෝල් කරගෙන ඇට නැති දෙළුම් වලයි ඇට නැති රටකජු වලයි කන්න තියෙන්නේ මොනවද කියලා කල්පනා කර කර ගිහින් කොහේ හරි වාහනේ ඇන ගන්නවලු. එතන ඇක්සිඩන්ට් එක බලන්න ගිය පොලිසියේ එකාත් මේක දැකලා, ඌ වතුර එකකුත් ඉල්ලන් බීලා ඩබල් ඩී ගාවට ඇවිල්ල මේ හුට්ටප්පරේ විසඳ ගන්න. පස්සේ මේක මහා ප්‍රෝඩාවක් කියලා දැනගෙන ඩබල් ඩීගේ පළතුරු බිස්නස් තහනම් කරලා. පුන් සඳේ ලන්තෑරුම ලිඳේ තමයි වෙන්නේ. දැන් නම් ඩබල් ඩී වනචාරි බිස්නස් අත ඇරලා දැහැමිව ඉන්නවා කියලා ආරන්චියි.

  වැඩේ කියන්නේ තඹේටයි දින්නටයි වෙච්ච දෙයක් නැති උණු එකයි. ඒ දෙන්නා මේ යසට හිටියා මේ නෑ. මොනා උනාද කියලා මොකෙක්වත් දන්නෙත් නෑ. ඒ ගැන කාටවත් වැඩිය ගාණක් තිබ්බෙත් නෑ. ඔහොම ඉන්දැද්දි දවසක් පර්නෑන්ඩු මුලිච්චි උණා. උන්දැ මේ හුලං කාලේ කැලෑ අස්සේ බැඳලා තියන හුලං පෙති කපන්න යනවා රේන් කෝට් එකකුත් ඇඳන්. ඒවා සේරම කපලා ගිනි තියලා බැඳලා තිබ්බ ගහ වටේට ක‍ටු කම්බිත් ගහලයි මුන්දැ එන්නේ. ඒ තරමට කැරකෙන පෙති මුන්දැට අගුණයි. මුන්දැ තමයි මට තඹේ ගැන විස්තරේ දුන්නේ.
  තඹේ දැන් දින්නත් එක්ක එකතු වෙලා තව දෙතුන් දෙනෙක් සෙට් කරගෙන වෙනම කල්ලියක් හදාගෙන ඉන්නවලු කොහෙටද වෙලා. ඒක අහපු මගේ බඩ ගොර ගොර ගාන්න ගත්තා. වැඩේ මේකයි. තඹේට අර කට්ට බිබික්කන් කාල කොල ඔතලා යවලා පිටරටක යන්න චාන්ස් එකක් හම්බ උණානේ. මුන්දැ රෙදි ගන්න කියලා එහේ ෂොප් එකකට ගිහින් ‍ෆිටෝන් රූම් කියලා හිතලා ලිෆ්ට් එකට නැගලා රෙදි මාරු කරලා. යට තට්‍ටුවේ එකා ලිෆ්ට් එක අරිද්දි බඩු මාට්‍ටු. එදා ඒ සිද්දියෙන් පස්සේ තඹේගේ සිහි කල්පනාව අවුල්.  පස්සේ මුන්දැ ලංකාවට ඇවිල්ල දින්නා හොයං ගිහින්.
                දින්නා එතකොට පොල් ගහක කරටියේ ඉඳලා තියෙන්නේ. බැලින් නම් කොහේදෝ ට්‍රිප්පුවක් යන්න ආපු සෙට් එකක් දින්නගේ ගෙවල් පැත්තේ තේ බොන්න නවත්තලා. තේ බීලා ලඟ තිබ්බ කාණුවට සුළුදිය පහ කරලා. ඒකෙන් එහෙට ගං වතුර දාලා. පොල් ගහට නගිද්දි කුරුම්බැට්ටියක් වැදිලා දින්නගෙත් සිහි විකල්වෙලා. දැන් සිහි විකල් දෙන්නයි. එකෙක් රෙදි අඳින්න ගිහිල්ලා, අනිකා ස්වභාවික ආපදා හින්දා.

   පර්නෑන්ඩු කිව්වා ඊට පස්සේ මුං දෙන්නා තව විකල් සෙට් එකක් එකතු කරගෙන කල්ලියක් හදාගෙන ගේම් දෙන්න යනවලු. අබුද්දස්ස කාලේ ගෑණි හැමදාම බඩින් කියනවනේ. මුං මේ කල්ලියට නමකුත් දාගෙන. ඒකේ ෂෝට් වර්ෂන් එක "න.රි. හි.ත.". එක්ස්ටෙන්ඩඩ් තේරුම නරිනාටක රිසිවූ හිවල් තග්ස්. ඒක අහපු මට ඉල නෑ හිනා වෙන්න. කෝම හරි මං ඉස්සරහ හිටපු පර්නෑන්ඩු දැක්කේ මම කටින් හිනා වෙනවා විතරයි. මට වෙන තැන් වලිනුත් හිනා ගියා. පස්සේ ආරංචි කරලා බලද්දි වැඩේ සිරා. මේ සෙට් එක බෙඩ් ෂීට් පොරවගෙන සමහරු තුවා එහෙම බෙල්ලෙත් බැඳගෙන කොස් කොල ඔ‍ටුනු දාගෙන සැරිසරනවලු. සමහරු මූණත් වහගෙන එවයේ සිදුරුත් විදගෙනලු යන්නේ. ඒ නම් සමාජෙට මූණ දෙන්න බැරුව.
                         කෝමහරි ගං වතුර සහනාදාරෙට දුන්නු බෙඩ් ෂීට් මූණේ ඔතන් යන්න ඒවයෙ සිදුරු කතුරකින් කැපුවා කියලා කාගේදෝ අම්ම කෙනෙක් පලු යන්න අදාල පුද්ගලයට බැනලා තිබ්බා. මේ සෙට් එකට මේ අලි බබා සහ හොරු හතලිහේ හයි ඩෝස් එකක් වැදිලා. ඔය ග්‍රීස් යක්කු කිය කියා පහු ගිය ටිකේ සැරිසරලා තියෙන්නේත් මුන්දැලාම තමයි. නාකි වෙද්දි ඇඟේ රිවට් බුරුල් වෙන හින්දා මේ සෙට් එකත් එක්ක මුලු ඇඟ වස්සන් ග්‍රීස් ගාගෙන තැන තැන රිංගලා. ග්‍රීස් ලිස්සන හින්දා බෙඩ් ෂීට් ඇඟේ හිටලත් නෑ. කෝම හරි කැලෙන් එලියට ඇවිල්ලා ගම්මාන වල සැරිසරද්දි බෙඩ් ශීට් කැලේ. පද්මෙගේ නාට්ටියක එහෙම පෙන්නුවා නම් අනිවා අර බෝඩ් කාරයට හුස්මක් ගන්න වෙලාවක් නැති වෙනවා. පස්සේ ග්‍රීස් යක්කු එනකම් මිනිස්සු කැති පොලු අරන් බලන් ඉන්න කාලේ මේ සෙට් එක පටන් ගත්තා තව වැඩක්.
                  ඒ සාස්තර කියන්නයි පේන බලන්නයි. මේ දවස් ටිකේ හක් ගෙඩි, දේව රහස් වගේ ඕනි හිපල් පාරුවක් මාකට් කරන්න පුලුවන් හින්දා මේ සෙට් එකත් හැදුවේ ඒ වැඩක් කරලා හිට් වෙන්න.
 මේ වැඩේදි එකෙක් සාස්තර කියනවා, තව එකෙක් කට්ට කුමජ්ජල් අල්ලනවා, තව එකෙක් ආ වඩනවා, තව එකෙක් නිකම් ඩිමෝ වර්ෂන් එක වගේ මුලින්ම සාස්තර අහන්න වගේ ඇවිල්ල මොකක් හරි කිව්වාම "හනේ දෙයියම්පා ඇත්ත දෙය්යෝ" කිය කිය ඒක මාකට් කරනවා, තව එකෙක් මිනිස්සු මැද්දැවේ ඉඳන් උං කියන කතා පේන කියන එකාට වට්ස් ඇප් කරනවා, ඉතුරු දෙන්නා ගිහිල්ලා රටේම ඉන්න හරක් ටික හොරකම් කරන් ඇවිල්ලා කැලෑව මැද්දෑවේ හංගනවා. ඊට පස්සේ ප්‍රචාරණේ අරිනවා සාස්තර කියන තැන හරක් හොයලා දෙනවා කියලා.
 මේ කේස් හින්දා මේ හත් දෙනාට හරක් හත කියලත් මිනිස්සු කිව්වා. පස්සේ හැබැයි මේ වැඩේ මාට්‍ටු උණා. හරක් උස්සද්දි දවසක් මුං ගිහිල්ලා උස්සලා තියෙන්නේ මහා සොත්ති හරකෙක්. හරකගේ අයිතිකාරයවත් ඌ ගාවට යන් නෑ. ඒ පාර හරකා ගෙජ්ජි සලලා ඇනල තිබ්බ අං දෙකෙන් දුම් විසි වෙන්න. ඒකෙන් හරක් වැඩේ ඉවර උණා.
 පස්සේ මේ සැට් එක කාලා ඉන්න බැරි කමට පටන් ගත්ත ගෙයින් ගෙට ගිහිල්ල බඩු විකුණන්න. මෙයාලා විකුණන ලොට් එකේ නැති දෙයක් නෑ. මුලින්ම මේකට පෙරහුරුවක් විදියට ගෙදරින් ගෙදරට ගිහින් තැඹිලි බාන්න පටන් ගත්තා. නමුත් සදාචාරාත්මක හේතූන් මත ඒවා දිගටම කරන්න උණේ නෑ. දවසක් මේ සෙට් එක ගිහිල්ලා ව්‍යායාම බඩු විකුණන්න. ඒකට මෙයාලා හඳුන්වලා දීලා තිබ්බා අලුත්ම උපකරණයක්. ඒක නිකම් පොලිශ් කරපු අටමගලක් වගේ.
ඔන්න ගිහින් තට්‍ටු කලා දොරට. ආවේ ගෑණු කෙනෙක්.
"ආහ් නෝනා අපි මේ අලුත් ව්‍යායාම කට්ටල හඳුන්වා දෙන කණ්ඩායමක්." හතෙන් එකෙක් හතේ හත ගහලා ආපු ගෑණු කෙනාට කිව්වා.
"හාකෝ, ඉතින් මෙහේ ආවේ?" ගෑණු කෙනත් අහපි.
"නෝනා අපි මේ අපේ අලුත්ම නිර්මාණය හඳුන්වාදෙන්න ගෙන් ගෙට යන ගමන් තමයි මෙහෙටත් ආවෙ. නෝනටත් ඔය වැඩි වෙලා තියන ඇඟ අඩු කර ගන්න විදියක් තමයි අපි මේ හඳුන්වා දෙන්න යන්නේ." එකෙක් දැන් හෙණ ටෝකක් දීගෙන යනවා.
"හහ් මගේ ඇඟ අඩු කරගන්න කලින් ඔහෙලාගේ සෙට් එකේ සමහරුන්ගේ ඇඟවල් අඩු කර ගන්නවලකෝ. හහ්. බලනවා ඇඟේ හැටි. ස්විමිං පූල් එකකට පැන්න දවසට හ‍ඳෙ වතුරත් හොයා ගත්තෑකි." ගෑණිත් ඇරලා දැම්මා ආයේ නෑ.
"මේ නෝනා, දන්නේ නැති රට මඟුල් නොකියා ඉන්න නෝනා හරිය . අපි පාරිභෝගිකයාගේ සුවසෙත තමයි මුලින් සලකන්නේ. නිකම් ඥං පචං ගාගෙන එන්න එපා." එකෙක් මේ හතේ ගැම්ම අරන් කයි දෙන්න ගත්තා.

"අපි මුලින්ම නෝනාගේ BMI එක බලලා ඉමු. නෝනාගේ උසයි බරයි කියන්න බලන්න." සෙට් එකේ හීනිම චරිතය කොලේකුයි පෑනකුයි අරන් මොකක්දෝ උලව්වක් හොයන්න යනවා. ගෑණි උසයි බරයි කිව්වා. "හම්මට යකූ, මේ සමීකරණේ වැරදිද කොහෙද, මේකට අනුව මාත් මහතයිනේ යකූ." ගාණ හදපු එකා කිව්වා. ගැණිට ඕවා තේරෙන්නේ නෑ.
"හරි හරි කෝ ගන්නවකෝ බලන්න ඔය යන්ත්‍රෙ." ගෑණු කෙනා කිව්වා.
එතකොටම එකෙක් බෑග් එකට අත දාලා ගත්තා පොලිශ් කරපු පොල්ලක්.
"නෝනා මේක තමයි භාණ්ඩේ. මේ තේක්ක එක. මේකේ තව නැදුන් එකත් තියනවා." එකෙක් දැන් විස්තරේ දීගෙන යනවා.
"මේකෙන් දැන් මොකක්ද වෙන්නේ?" ගෑණි අහපි.
"හරි සරලයි නෝනා. මුලින්ම නෝනා සහ මහත්තයා ගෙදර මිදුලට සෙට් වෙන්න ඕනි. ඊට පස්සේ නෝනා මේ පොල්ල ඈතට විසි කරනවා. මහත්තයා දූවලා ගිහින් ඒක කටින් ඇහිඳන් එන්න ඕනි. මෙහෙම පස් වතාවක් කළාම මහත්තයා පොල්ල අරන් ඈතට විසි කරනවා. නෝනා ඒක ඇහිඳන් එන්න ඕනි. දවස් පහෙන් කොලෙස්ටරෝල් ඉවරයි." ඕන්න විස්තරේ.

     කෝමහරි ගෑණු කෙනාට මේක හිතට ඇල්ලුවේ නෑ. ඒ බව මූණෙන් පේද්දි මුලු හත් දෙනාම එකතු වෙලා මේකේ හොඳ කියන්න ගත්තා. අම්ම ගහයිනේ. නිකම් බට කැල තුනක් එකට දාල හත් පැත්තකින් පන්දම් දාහතරකින් දෙපාරක් ගිනි තිබ්බා වගේ. වටේ එවුන් හිතන්න ඇති ටොනේඩෝවක් ඇවිල්ලා කියලා. මේ ගාලගෝට්ටේ ඇහුණු ගෑණු කෙනාගේ මනුස්සයා මන්නෙකුත් අරන් දුවන් ආවා එලියට. මන්නේ දැකපු එක්කෙනෙක් මිදුලේ තිබ්බ ලිඳ ගාවට ඇදුණා "අන්න ලිඳක් අන්න ලිඳක්" කියාගෙන. අනිත් හය දෙනා තවම පොල්ලේ බලේ ගැන කියනවා.
"තොපි මොකද මේ මහ දවල් ගෙවල් ගානේ ඇවිද ඇවිද බෙරිහන් දි දී මගේ ගෑණි කන්න හදන්නෙ?" මිනිහා අහපි.
"නෑ සර් මේ යන්ත්‍රේ."
"යන්ත්‍රේ? තොපි මොකද මේ පොලු උරුක් කොරන් ගෑණු බය කොරන්න හදන්නේ? ඒ මදිවට සේනාව වගේ." මූ මන්නේ උරුක් කොරන් ගේම ඉල්ලනවා.
ඔය අස්සේ එකා දෙන්නා ලයින් එකේ දෙන්නා හෙමීට මාරු වෙනවා දැන් ගෙදරින්. අන්තිමට ඉතුරු උණේ පොල්ල උරුක් කොරන් හිටපු එකා විතරයි. අනිත් එවුන් වැට උඩින් ඔටෝ ජම්ප් කරලා බලන් ඉන්නවා. අරෙහේ අරුන්දැ අසරණ විදියට පොල්ලත් උරුක් කොරන් බලන් ඉන්නවා. හත්පොලේම ගා ගන්නයි යන්නේ.
"තොපි මේ මහ දවල් ගෙවල් ගානේ ඇවිල්ලා ගෑණු රවටන් මනමාලකම් කොරන්න නේද? හිටපිය මූකලම් බස්සා." කියලා ඒ මනුස්සයා මන්නේ කැපෙන්නේ නැති පැත්ත උස්සනකොටම අනිත් අය ඇස් පියා ගත්තලු. එදා ඉඳන් නරි හිතේ එකෙක්ට උණේ කිරිබත් කන්න නෙවෙයි තලලා ගිලින්න.