බස් එකට නැග්ග ගමන් පද්මේ පැන්නා පෙම් මුල්ලට. හරියට ඌ ඒකෙ අහවල් එක කොරන්න යනවා වගෙ. නොදකිං. යකූ මෙච්චර මේ සදාචාර සම්පන්න රටේ මොකාද පෙම් මුලු වල යන්නේ. සුදු වතින් සැරසීගෙන සුබාසිතේ බල බල බස් වල යන්න ඕනි දැන්.
මේ යන හැටියට පෙම් මුල්ලේ ගියත් පොලිසියෙන් ඇවිල්ලා කුදලන් ගිහින් සමාජ රෝග තියේද කියලා බලන සයිස් එකක් දැන් තියෙන්නේ. දැන් එච්චර හෙළ සිරිතට රට හැදිලා තියෙන්නේ. ආයේ සත්තුන්ටවත් පාරේ විළිවතින් යන්න අයිතියක් නෑ. පොලිසියෙන් උන්ට ඇඳුම් මහලා නැකතක් බලලා අන්දවනවලු. එච්චර සදාචාරේ.
ඒ හින්දා දැන් ඕනි ගෑණු කෙනෙක්ට මැණිකක් ඔලුවේ තියාගෙන රටේ එක කොණක ඉඳගෙන අනිත් පැත්තට යන්න පුලුවන් කියලා මැගිලින් නැන්දා කියනවා මං අහගෙන. හිහ් ඒ නැන්දා නම් මැණික් ගල් නෙවෙයි පතරංග නිධානයක් උස්සං ගියත් උන්දැට මොකවත් වෙනෑ. වෙන දෙයක් වෙන්නේ අහල පහල ඉන්න උන්ට. ඒ තරමට චරියාව.
"ඒකට දැන් කාලේ ඉන්න කෙලි හැත්ත. මුංට කාලා ඉන්න බෑ, තෙල වැඩි වෙලා. අපේ කාලේ නම් අපි කොල්ලො දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ." නැන්දා පතරංගේ දිග ඇර දිග ඇර කියපි.
එහෙම කිව්ව විදියට ඒ වයසේ එයා හිටියා නම් නෑන්දගෙ ලොකු පුතාගේ වයස බලද්දි එක්කෝ ලොකු පුතා හම්බ වෙද්දි නැන්දා රෙද්දකින් ඇස් බැඳගෙන ඉඳලා. එහෙමත් නැත්තම් මාමා ගෑනියෙක්. අන්න එහෙම බරපතල අර්බුද වලට මුහුණ දුන්නු කාලෙක අපි මේ උදේම මූසල කමට යන්නේ තවත් දානෙකට. හරියට කොකාගේ කණ හොයන්නා වගෙ. සෙට් උනාට හිටු කියලා ලාතරස් සීන් සෙට් නොවේවා.
බස් එකට නැග්ග ගමන් පද්මයා පටන් ගත්තා වර නගන්න.ඌ හිතන්නේ මේ අපි ට්‍රිප්පුවක් යනවා කියලා. ඌ ඌට හැකි සරීර සක්ති පමනින් උගුරේ රැල් බුරුල් හැරලා උගුල් අටෝලා උගේ ලාටු වොයිස් එකෙන් "අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නේ මෙ ලෝකේ වසලයා." කිය කියා බස් එකේ යන්නේ.
මූ බස් එකට නැග්ග වෙලේ හිට හූ තල තල කෑගොස්සන් ගහනවා. බෙල්ලත් මුලු අස්සන් ජනේලෙන් එලියට දාලා වටේ ඉන්න උන්ටත් ඇහෙන්නත් එක්ක මූ මෙව්වා කිය කිය යන්නේ. බස් එකේ හිටපු අනිත් මිනිස්සු මූ ගාවට ඇවිල්ලා සල්ලිත් දීලා ගියා.
"අනේ වේදනාවටද කොහෙද හූ තල තල කෑ ගහනවා? කුණාටුවකට අහු වෙලා වෙන්න ඇති. ඇහැකුත් පේන්නේ නෑ වගේ, හාල්පාරු පාටයි." මිනිස්සුන්ගේ හිතේ මූ කැළනි හිඟන්නෙක් කියලා.
"අසරන ගොබිලෙක්, කකුලකුත් කොරයි, මූනත් තැළිලා වගේ. රණ්ඩුවකට ගිහින් උදළු පාරක් වැදිලලු. ඕකා ඉස්සර එහා ගමේ මාලු ලෑල්ල කලානේ. වැල්ලේ මිනිස්සු එක්ක වලියක් ගිහින්. මූ බලයාට ගල් පාඬියා කියලා, කෙලවල්ලාට පොල් කොරලි කියලා, අල ගොඩ්ඩෙක්ට සූඩ්ඩා කියලා. උංට මල විදලා මූට නෙළලා. පස්සේ ඔපරේසන් එකක් කරලා උණ්ඩුක පුච්ඡේ අයින් කරලා. ඒකයි දැන් ඔහොම ඉන්නේ" මේ යක්කු ඒ ගමන් රටේම වල් පල් හද හදත් කියනවා.
මූ එක්ක මම ඉන්නව දැකලා මාව මාලු ලෑල්ලේ පිහිය ගලේ උලන එකා ගානට දාවි කියලා මම අහක බලන් හිටියා. ලැජ්ජාව බාල්දියෙන් එකයි. මම ඌව අඳුරන්නේ නෑ වගේ.
දැන් දානේ තියෙන්නේ ඩබල් ඩීගේ කිරිඅත්තගේ කාර්යාලේ වැඩ කරන ඇසිස්ටන්ගෙ පුතාගේ වඳ පුංචි අම්මගෙ ගෙදර. එහෙ ටැන්කියේ ඇති කරපු ගෝල්ඩ් ෆිශ් මැරිලා. ඒකට මේ බණක් කියලා දානයක් දෙන්න හදන්නේ. පාර පෙන්නන්න යන්නේ පර්නෑන්ඩූ. ඒ ගැන නම් මට සාධාරන බයක් තියනවා. කලින් වතාවක නිගන්ටයට උනු දේ අපිටත් වෙයිද දන් නෑනේ. කොහොම හරි ගිහින් බැහැලා බලද්දි මූ අපිව එක්කන් ඇවිත් තියෙන්නේ මෝදර වැල්ලට. තව ටිකෙන් ඇත්තටම පද්මයට මාලු කපන්න වෙනවා. යන්තම් ලැජ්ජාව පහයි දෙකේ මාලු දැලකින් වහගෙන එතන ඉඳන් අපි ආටා එකක් අරන් දානේ ගෙදර ආවා.
ඇත්තම කිව්වොත් මම නම් පිරිසිදු සිතින් දානේ ගෙදරක යන්නේ මට හොඳට කන්න. නමුත් මගේ බඩ පුරවා ගන්න නෙවෙයි ඇත්තටම ඒකෙ චේතනාව. දානේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න. නැතුව මේ මට උයාගෙන කන්න බැරිකමකට යනවා නෙවෙයි. මම මෙහෙම කන්න හිතාගෙන දානේ ගෙවල් වල ගිය දවස් කොච්චර සොඳුරුද කියලා දැනුනේ මේ දානේ ගෙදරට ආවාම තමයි. ඕනි ජිලක් පණම් අටයි කියලා දානේ ගෙදරට ගියාට මොකද ගිය වෙලේ හිට කප්පරකට වැඩ.
ගිය ගමන්ම සෙට් උනේ පිඟන් වලට ලන්ච් ශීට් දාන්න. මොන උලව්වකට මෙව්වාට මේ කවර උලනවද දන් නෑ.කන එකෙක් නෑඹිලියට හරි බෙදන් කාපන් කියලා ඉන්නනේ තියෙන්නේ. ඒත් ඒක සිස්ටසම්පන්න නැහැල්ලු. අර උලව්වෙ ලන්ච් ෂීට් දාන්න ඕනිලු. මේවා හොයා ගත්තු එකා උල තියන්න ඕනි දෙකොණින්. එව්වා දාද්දි සාමන්‍ය සයිස් එකේ පිඟන් අස්සේ තිබිලා පෙරිය සයිස් පිඟනුත් හම්බ උණා.
එව්වා පිඟන් නෙවෙයිලු. දොරවල් නැති කාමර වලට පොල් අතු පැලැල්ලක් විදියට යූස් කරන්නත් පුලුවන්. ඕනි නම් ඒවා වාහනේක ඇලෝ වීල් කරන්නත් ගන්න පුලුවන්.
කෝම හරි ලන්ච් ශීට් දාද්දි පර්නෑන්ඩු පිඟන් තුනක් බින්දා. ඒවා කාමරේ තිබ්බ කැබිනට් එකක් අස්සේ රුවලා මුකුත් උණේ නැති හොලා වගේ හිටිය සීන් එක තවම මොකෙක්වත් දන් නෑ. ඒ වගේම කුස්සිය පැත්තට ලයින් එකේ ගිය තඹේ ඔය පොල් තෙල් බෝතල් දෙකක්, හකුරු බෑයක්, ඉඟුරු කිලෝ පහක්, කරෝල කූරියෙක්, තාන්කච්චි රෙදි මිටියක් සහ තව සුලු සුලු අනෙකුත් අනම් මනම් ගෝනියකට දාලා ගැට ගහන් ලයින් එකේ ගෙදරින් පන්නපු සීන් එක මං හිතන්නේ දැක්කේ මං විතරයි. මං ඉතින් ඕවා කාටවත් කියන්න යනවා කියලැයි.
අපි මේ වැඩ කර කර ඉද්දි ආවා කියපංකෝ බලුවෙක්. "මූ තමයි සින්ඩි" ගෙදර අය අපිට ඌව අඳුන්වලා දුන්නා.ඌ පැත්තක උණ්ඩි කරලා දාලා තිබ්බ රෙදි ටිකක් උඩ වැතිරිලා නිකම් කින්ඩියට වගේ අපි දිහා බැලුවා. වෙලාවක මූට සැන්ඩි නොකර පොවන්න ඕනි වන්ඩියට ඉස්ම එනකම්.
කෝම හරි අතක් පයක් නොකැඩී දානේ නම් දී ගත්තා. දානේ දීලා අපිත් සුට්ටක් ගිලලා වැතිරිලා ඉද්දි එක පාරටම ආපි තුවක්කුවක් කර පින්නා ගත් හයේ හතරේ ඩෑල් එකක්.
"මල්ලි මේ පැත්තෙන් ඉත්තෑවෙක් එහෙම ගියේ නෑ?" මූ මගෙන් අහපි. යකූ මූ දඩයක්කාරෙක්ද කොහෙද. "දැක්කේ නම් නෑ, ඇයි අය්යේ?"
"නෑ බං මල්ලි මං ඌට ටැලි ග්‍රැම් එකක් ගැහුවා එන්න කියලා. මූ ආවේ නෑනේ." හෑක් මොකක්ද යකෝ ඒ අවලම්බීත කතාව. ඉත්තෑවන්ට ටෙලිග්‍රෑම් ගහන්නේ අහවල් උලව්වකටද.
"අය්යා මෙහෙද?" "නෑ මල්ලි මම බටුගෙදර . එහෙ මේ ටිකේ ඌරො මඩ තලනවා. හබන් කුකුලෝ හෝම් කමිං යනවා. ඒ අස්සේ ගිලීමලේ ඉන්න හක්ක රිවස් ඩෑල් ඇවිල්ලා සීපද කියනවා. ගඟ ටවුමට කවි කියනවා, ටවුම ගඟට කවි කියනවා. එව්වා අහං ඉන්න උං පත්තරේ දානවා. හතර විලිජන්ජාලයයි මල්ලි එහේ මේ දවස් වල." මෑන්ස් කියාගෙන කියාගෙන ගියා.
දෙය්යෝ, මූට තියන ප්‍රස්න.
"හරි ඉතින් අය්යා මෙහෙට වෙලා මොකද කරන්නේ?" "මම ඇහුවා
"මම මෙහේ ඉත්තෑවෝ අල්ලනවා මල්ලි."
"ඉත්තෑවෝ අල්ලනවා? එහෙනම් අර ටැලිග්‍රැම් ගහන්නේ මොකාටද?" මම අහපි.
"මේකනේ මල්ලි, අපි දැන් උන් අල්ලන්නේ මොඩර්න් විදියට. මම පාරේ උගුල අටෝලා ඉත්තෑවට ටෙලිග්‍රම් එකක් ගහනවා ඔහෙන් වරෝ කියලා. ඌ එද්දි කෙලින්ම උගුලේ. හරි සරලයි හිටං." මූ කියපි.
මූ මේ ගල් වැද්දෙක්ද කොහෙද. එක්කෝ මූට අන්දකයිප්පු කැවිලා. නැත්තම් මෙහේ ඉඳලා වැඩි වෙලා ඔලුව කුරුවල් වෙලා. ඌ ටෙලිය ඩිලිවර් උණාද බලන්න ටෙලිකොම් එකට යනවා කියලා ගියා යන්න. අපි තැනකට ගියොත් යන යන දිහාවෙ ඉන්නේ සයිකෝ උං. වැඩේ කියන්නේ මාත් එක්ක යන උංටත් සයිකෝ ගහන එකනේ.
වැද්දා ගිහින් ටිකකින් කාමරේකින් සර සර ගාලා සද්දයක් එනවා. නිකම් කව්දෝ එකෙක් සොපිං කවර හොලෝනවා වගේ. ඒත් දැන් සොපිං කවර තහනම් හින්දා ඕව තිබිලා මාට්‍ටු උණොත් කෙලින්ම හිරේ. මේ කාලේ හිරේ නොයා කොරන්න පුලුවන් එකම දේ කැළෑ කපන එකයි, බැංකු සුද්ද කරන එකයි. තව ඕන ගොනෙක්ට කඩේ යන්නත් පුලුවන්. කෝම හරි දැන් මේ තහනම් ශබ්දය ඇසුණු කාමරේට අපි එබුණා. ඇයි යකූ මොකෙක් හරි මේක අස්සේ සොපිං කවරයක් හොරෙන් තියන් හිටියොත් කට්ටියම ගස්.
යද්දි මොකෙක්දෝ එකෙක් ඉහේ හිට කවර උලාගෙන. මූ කාමරේ එහෙට මෙහෙට පැන පැන ඉන්නවා. ඔලුවෙත් සොපිං කවර. බෙල්ලේ ඉඳන් පහලට පෝර කවර. කකුල් දෙකට ටියුලිප්.
මේක දැකලා මගේ සරුවාංගෙම මයිස් ඉස්මයිල් උණා. ග්‍රීස් යකා ආවා රිවට් බුරුල් වෙලා. දැන් සොපිං යකෙකුත් ෆෝම් වෙලාද දන් නෑ.මූ හදන්නේ අපිවත් ඇදන් නිරුවතින් හිරේ ලගින්න. ඊට පස්සේ හිර බත් කකා හිර වතුර බිබී හිර ගුඩුස් ඇර ඇර ඉන්න බැරියැ.
මේක දැකලා පද්මයටත් මොකක්ද වෙලා. ඌ එතන ඉඳන් තාලම්පටක් ගගහ සිංදු කියනවා. "මුලු ගතම වෙහෙසුණා. දහ දියෙන් නැහැවුනා." මුං සේරටම සයිකො බෝ වෙලා.
මේ වගේ වෙලාවටවත් යහපත් සරීර සවුක්යෙන් ඉන්න එපැයි.ඒ අස්සේ අර නටා ඇවිදින එකා මුලු අව් අස්සන් පැන පැන ගිහින් බිත්තියක හැපිලා දෝයියං පත බෑවුණා බිමට. මං හිතන්නේ වැටිච්ච පාරට අක්මාව ගැට ගැහිලා. අපි ගිහින් ලයින් එකේ මූන පුරා තිබ්බ සොපිං කවරේ අයින් කලා. යකූ මේ පර්නෑන්ඩූ නේ. මූණ පුරා කලු තෙල් උලාගෙන මුන්දැ මොකක්ද මේ ගෝනි බිල්ලෙක් වගේ කොරන්නේ. අමු කැවිලාය. ටිකක් වෙලා යද්දි යන්තම් සිහිය වගේ එකක් ආවා.
පර්නෑන්ඩූ මොකක්දෝ එකක් කියන්න හදනවා වගේ පෙණුනා. ඒත් හරි හමන් සද්දයක් පිට වෙන් නෑ. නිකම්ම ගොර ගොර සද්දයක් විතරයි එන්නේ. එතකොට තඹේ නිකම් මහදැන මුත්තා වගේ කියවන්න ගත්තා.
"මොකක්ද බං ඔය උගුර බල්ලෝ කාලා වගේ. බැරැණ්ඩි වෙලා. කාපංකෝ වැල්මී කෑල්ලක් ඉඳලා හිටලා. නැත්තම් හවසට පොල් කෑල්ලක් ගලෝල පුච්චන් කාපියකෝ. හරියට නිකම් අර්ශස් හැදිච්ච කොටලුවෙක් වගේ." තඹේ බනින්න ගත්තාම කිසිම චාරයක් නෑ. මම වගේ සිස්ටසම්මන්න අදිස්ටාන වචන ඌට නෑ.
එතකොටම පර්නෑන්ඩූට හරි සිහිය ආවා.
"පොල් ගලෝලා කන්න, තඹේ බොට කොයිල්ය. මොන පොල් කෑමක්ද මේ කාලේ. පොල් ගෙඩ්ඩක රයිස් බලනවකෝ." පොල් ගෙඩ්ඩේ මොන රයිස් බලන්නද කියලා කියන්න කටටත් ආවා. ඒත් බාල්හ ගිලානෝ නෙහ්. ඇහුවේ නෑ.
"මොකක්ද මේ සොපිං කවර ඔතාගෙන උඩ පැන පැන කොරන්න යන්නේ?" මම පස්සේ පර්නෑන්ඩුගෙන් ඇහුවා.
"මට හදිසියේ හඳට යන්න ආසාවක් ආවා." මුන්දැ කියපි. "චන්ද්‍රකුමාර හම්බ වෙන්නද? අඩේ හම්බ උණොත් කියහංකෝ උගේ හා පට්ටිය බලාගෙන කැරටක් කාගෙන එහෙටම වෙලා ඉන්න කියලා මේ නැට්ට ගිනි තියා ගත්ත හනුමා වගේ ලංකාවට උල්කා එවන් නැතුව. බොක්ක දනවා ඕයි. අර කොරියාවෙන් මිසයිල එවනවද දන් නෑ. දැන් අපේ ගමේ උං වලාකුලක් දැක්කත් කුඩේ ඉහල ගන්නවා. ඒ අස්සේ පොළවෙ ඉන්න බෑ පොලවෙන් එක එක හෝතඹුවෝ මතු වෙනවලු. කෝමද ඕයි මේකේ ඉන්නේ." මම මහත් වූ පශ්චතාපයෙන් කියෙව්වා.
"ඒ රට බයිලා නෙවෙයි. මට ඕනි හඳට යන්න. සොපිං කවරේ දා ගත්තම නිකම් පා වෙනවා වගේ." පර්නෑන්ඩූ කියපි.
මේකා මොනා හරි බීලද කොහෙද. පා වෙන්න නෙවෙයි, ඕක අස්සෙදි හුම්ම හිර වෙලා මැරෙන්නයි වෙන්නෙ. "හඳට යන එක නම් ටිකක් අමාරු වෙයි හැබැයි. නාසා එකෙන් දැන් වඳුරෝ, හෝහපුට්ටෝ හඳට යවන් නැහැල්ලු. එහෙම යැව්වේ ඉස්සරලු. ෆීලිං සෝ සොරි."
තවත් දානේ ගෙදරක ගිය ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතා පුවත ඊලඟ එකෙන්.