Search This Blog

Friday, September 8, 2017

දානෙ කතා

අක්කගේ දානෙ ගෙදරින් පස්සේ ආයේ දානෙ ගෙවල් වල යෑම මං ටික කාලෙකට නැවැත්තුවා. ආරාධනා නම් සෑහෙන්න. මං වගේ නිර්ලජ්ජිත, විච්චූර්ණ, අලජ්ජ, පතරංග ඩෑල් එකක් ඉතින් දානේ ගෙදරකට ගියත් වාසනා. ආයෙ මල ගෙවල් හතක් වෙනවා දාන හතක් දෙන්න. ගෙදර උංට දවස් හතක් මළ බද්දය හැදෙනවා. ඉතින් ගමේ අයට මාව සෑහෙන මීටර්.
                 මේ විදියට මං පෙරේතය පොලේ වික්කා වගේ ගෙදර පත බෑවිල ඉන්නකොට, ආවා කියපල්ලකෝ කෝල් එකක්. මම ආන්සර් කලා.
"හෙලෝ"
"හෙලෝ, ‍තෝ කවුද?" කතා කරපු එකා අහපි.
"යකෝ මට කෝල් කරලා මගෙන් කවුද කියලා අහන්න ‍තෝ කවුද?" මම කිව්වා.
"එව්වයින් තොට වැඩක් නෑනේ. ‍තෝ කවුද?" මූ ආයෙත් අහපි.
"ඇටි ඉබ්බො, ‍තෝ මට කෝල් කරලා මගෙන්ද අහන්නේ මං කවුද කියලා, කියපිය ‍තෝ කවුද කියලා ඉස්සෙල්ලා" මේක මහ හරුපයක්නේ.
"මම කවුද කියලා කියන්නම්, ඉස්සෙල්ලා ‍තෝ කවුද කියපිය." ඒ ගමන් මූ වර නගන්න එනවා.
"කොට්ටෝරු රිලවො, මල්ටි ප්ලග් මයිනො, ‍තෝ මේ එක එකාගේ ෆෝං වලට කෝල් දිදී ඌ කවුද කියලා අහන්නේ තොට විලි රුදාවය? මුලින් ‍තෝ කවුද කියලා කියු."

"ආහ් කතාවේ හැටියට ‍තෝ වෙන්න ඕනි. ඉඳු බොට ඇමතුමක් තියනවා." මෙහෙම කියලා මූ කෝල් එක දුන්නා වෙන ගොබිලෙක්ට.

"හෙලෝ" අනිත් පැත්තෙන් කියපි.
"හෙලෝ." මාත් කියපි.
"අඩූ මම තඹේ කත කරන්නේ."
"ආහ් මට හිතුනා වොයිස් එකේ හැටියට. බල්ලෙක් තප්පුලනව වගෙ. ‍තෝ මොකද මේ අල්ලපනල්ලේ වෙන එවුන්ගේ පෝං වලින් මට අමතන්නේ? බොගෙ පෝං එක වලහැඩියෙක් ගිල්ලය?" මම ඇහුවා.
"මෙහෙට කරන්ට් නෑ ඕයි. මගේ පෝන් එකෙ බැටරිය බැහැලා අදට පෝය තුනක් වෙනවා. වැලේ වැල් නැතුව මේ ඉන්නේ."
"ඉතිං හිවලෝ ඕක කියු මණ්ඩලේට, මං ඇවිල්ල ඔහෙ ජෙනරේටර් කරකවන්නයැයි." මම කියපි.

"තොට කතා කරේ කරන්ට් ගන්න නෙවෙයි ඔ‍ටුවො. මෙහේ දානයක් තියනවා. හදිසියේ දෙන්නේ. ඇවිල්ල යනවකෝ." මූ කියපි.

"ඇයි ඉතින් හදිසියට දෙන්නේ? ඔය ඕනි තරම් කල් තියෙන්නේ. අද හෙට මැරෙනවැයි. ඕක හෙමීට දෙනවකෝ."
                    මුං යකෝ සනිකව කරන්න යනවනේ හැම එකක්ම. ලෝකෙම සීග්‍රගාමි වෙන්න යනවා අප්පා. අහේතු කාලේන කජ්ජෙන පූලං.
"නෑ බං. එහෙම හදිසියට නෙවෙයි. ටිකක් ඉක්මනට ලෑස්ති කලේ වැඩේ. ‍තෝ කයි නොදී ඇවිත් වැඩක් පලක් කරල දියුකෝ. මගේ බිලත් යනවා. දැන් පල යන අහක." මේම කියලා මේ නරියා ඇමතුම විසන්ධි කරපි.

                   අය්යෝ මාගේ යව්වන කාලේ. දැං ඉතින් පලකෝ අර රට හරක් දේශයට ආපහු. නිකම් ගල් යුගේ ඉන්නවා වගේ.කරන්ට් නෑ, සිග්නල් නෑ. අනිත් ඒවා ගැන කියලා වැඩක් නෑ.
                                         දානේ දවසේ උදේම මම අවදි වෙලා හදා ගත්තා සම්පූර්ණ බැකප් සහිත බෑග් එකක්. ඕනි මලසමයමකට, නසරාණියෙකුට මේ බෑග් එකේ තියන දේවල් වලින් මාසයක් හමාරක් ජීවත් වෙතෑකි. කියන්න බෑනේ. හදිසියේවත් තඹේලගෙ ප්‍රදේසයට යන ගිරි දුර්ගේ ගලක්වත් පෙරලිලා වැහුණොත් කොච්චර කල් ඉන්න වෙයිද දන් නෑ.
                                එහේ සල්ලි අරන් ගියත් වැඩක් නෑ. එහේ උං සල්ලි වලට බඩු දෙන් නෑ. තල කුරුණි, වී කාර්තු වලින් තම එහේ බඩු විකිණෙන්නේ. ඩයිනොසිරස්ල විතරයි එහෙ අඩු. හනේ කියාගෙන මම නැග්ගා ඒ ගමට යන ගොන් කරත්තෙට.  සූ ගාලා සෙනඟ. බලන්න ඉතින් පොදු ප්‍රවාහන සේවේ ගොන්නුන්ට ගියාම වෙන වැඩ.
                        මේ කරත්තේ අස්සේ විලි සංහාරයයි. හුම්ම ගන්නවත් බෑ. හපොයි මගේ සරීරේ. ඒ අස්සේ සීයලා සරම් හොයනවා. වයසක ඇන්ටිලා දත් සැට් හොයනවා. මේවා අස්සේ තව මොකෙක්දෝ මැරෑටි එකෙක් එකෙක් ගොනාට තලන කෙවිට උස්සලා. කරත්තේ දක්කන එකා කුණුහබ්බෙන් බැන බැන කෙවිට හොයනවා. එතකොටම මෙන්න බොලේ කරත්තේ ගාවට ආපි මොන්ටිසෝරි කපල් එකක්.
                                     යකූ අපි ඒ කාලේ ඔන්චිලි පැද්දා, පංච දැම්මා, හිඹු‍ටු කඩන්න ගිහින් හොර මිනිහට මාට්‍ටු උණා, බාලොලි නැ‍ටුවා. දැන් කාලේ උංට යකෝ මදනයා ගහලනේ ඉහට. ඒ නංගි බඩ්ඩ කරත්තේ දැකලා මූණ ඇඹුල් කරන් කියාපි
"හාපූ මහ ගොඩේ. මට නම් බෑ මේකේ යන්න. බලන්න ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ." කියල. එතකොටම කරත්තේ හිටපු අමු වසල වාචාලයෙක් කියපි
"ඇඟිල්ලක් ගහන්න මොනාද නන්ගිගෙ ඉතුරු වෙලා තියෙන්නෙ?" කියල.ඒ වාචාලයා මම වග වරහන් අස්සේ තිබිච්චදෙන්.
             නොදකිං ලැජ්ජාව බාල්දියෙන් එකයි. එ කපල් එක එහෙම්මම ක්‍රත්තේ රෝදෙට තිබ්බා බෙල්ල. දක්කන එකා තවම කෙවිට හොයනවා. අනේ අම්මේ. ගත්තු එකාගේ අම්මමෝ නැතුව ඇති. ඒ අස්සේ ගොන්නු දෙන්නා ඇණ ගන්නවා. මොනාද බං මේ මෙහෙ වෙන්නේ? කෝමින් කෝම හරි අතක් පයක් නොකැඩී ආවා අපි තඹේගේ ගෙවල් ගාවට. එතකොට මට එහා පැත්තේ හිටපු එකා අහපි

"මල්ලි අලියා පැන්න ගලට දැන් ලඟය? කියල.
"මොක?" මට කියවුණා.
"අලියා පැන්න ගල මල්ලි, අර ඔන්න බබෝ ශූට් කරද්දි ඇතින්න පනින්න ගිහින් පැරලයිස් උනේ. අන්න ඒ දිහා?"
"අනේ අය්යේ මම මේ මං මුලා වූ සලබයෙක්. මම නම් දන් නෑ ඕවා."
"හය්යෝ මල්ලි දැන් ආපු රූට් එක මතක නැද්ද? මුලින්ම වැද්ද විද්ද ගල. ඊගාවට මොණරා දිව්ව හෙල. ඊටත් පස්සේ මයිනා රුන්න හෙල. දැන් පහු උණේ හිවලා ඉන්න ලෙන. ඊලඟට අලියා පැන්න ගල. අඩේ මල්ලි ලඟයි නම් කියපංකෝ. මගේ මේ ඇහැක් ටිකක් වපරයි බං." අම්ම ගහයිනේ බැට් එකෙන්.
                       මේ මනුස්සයගේ ඇස් දෙක තියෙන්නේ පැති දෙකකට. මූ කොම්පඤ්ඤ වීදියේ ඉඳන් තුම්මුල්ල බැලුවාම පේන්නේ මරදාන. ඉන්දියාවේ ඉඳන් කල්කටාව බැලුවාම පේන්නේ මුම්බාය.

"අයියේ මං හිතන්නේ අයියා වැරදි බස් එකට නැගලා තියෙන්නේ. මේ බස් එක යන්නේ නරිහේන හරහා කොර මීයන්හේනට ගිහින් එතනින් සැවුල් පාරේ කෙලින්ම ගෙඹිගමට. මං හිතන්නේ අයියට යන්න ඕනි අනිත් රූට් එකේ. අර උලමා මාක් ගහපු කරත්තේ. මොන උලව්වටද මේකේ නැග්ගේ?"

"අඩේ බාං අර හරක්ගාලේදි හම්බ උනු පර්නෑන්ඩූ කියලා එකෙක් මට පාර කිව්වේ. ආයේ කිරි ගහට මල්ටි බැරල් කෙලියා වගේ කියලයි කිව්වේ. නොදකින්. දැං ඉතින් ආයේ පලකෝ ආපස්සට." ඒ මනුස්සයා ආත බූත නැතුව පර්නෑන්ඩූට බැණ බැණ බස් එකෙන් බැස්සා.

                          ඔය පර්නෑන්ඩු හිතන් ඉන්නේ උන්නැහේ රටේ තියන සේරෝම පාරවල් දන්නවාය කියලා. වතාවක්  පර්නෑන්ඩු මගදි අහු උණු යාපනේ භාවනා කරන්න ඉන්දියාවෙන් ආපු නිගන්ටයෙක් ට පාර කියන්න ගිහින් ඌ අන්තිමට බැහැලා තියෙන්නේ අගුණකොලපැලැස්සේන්. ඌ යන්තම් නිරුවතින් ගුටි නොකා ඇවිත් ආපහු ඉන්දියාවටම ගියා.  බලන්න ඉතින් ජාත්යන්තර අපකීර්තියට රට පත් වෙන හැටි.
                   දැන් කරත්තෙ කොන්දා අයියා මං ගාවට ඇවිල්ල ටිකට් කඩන්න හදනවා.
"මලයා මෙහෙය?" තාම කතා කරන්නේ අර වන්නියේ ඌරුවට මෙහේ උං.
"නෑ අයියේ මම මෙහෙ නෙවෙයි."
"මලයා යන්නේ කොහේය?"
"මම මේ යාලුවෙක්ගේ ගෙදර යනවා. "
"මලයා අපොයිමන්ට් එකක් දාලය යන්නේ?."
"නෑ අයියේ කලිසමයි ශර්ට් එකයි විතරයි."
"මලයාට ටිකට් කඩන්නේ කොයිබටද?"
"අය්යේ ගෙඹිගමට දෙන්න ටිකට් එකක්."
"මලයා බාගෙද කඩන්නේ එකක්ද කඩන්නේ?"
 "එකක් ඇති අයියේ." 
"මලයා සෙනග අඩු උනාම ඈඳි ගන්නවා හොඳා. තව හූ හත් අටක දුර යන්න තියේ මයෙ හිතේ. කොහෙදෑ ඉතින් මොන උලව්වක්වත් පේනවයෙ. මුං දැන් මේ කරත්ත වලටත් ටෙන්ට් හයි කරලනේ." කොන්දා අයියා එහෙම කියලා ඉස්සරහ අයට ටිකට් කඩන්න ගියා.

                              හම්මේ මේකේ යනකොට තියන සනීපේ. වලකට වැ‍ටුනාම ඔලුව ගිහින් ඇනෙනවා වහලේ. පිං පනිනවා ඔලුවෙන්. ඒ මදිවට මේකේ රේඩියෝ එකක් නෑ. තියෙන්නේ වෑර්ලස් එකක්. ඒකෙන් මොකෙක්දෝ අවලම් හිපා‍ටුවෙක් නැග්ග වෙලේ හිට නහින්න හදනවා. මොකක් හරි පතරංගයක් වෙන්ටැ. මේ පැත්තෙ ජීවත් වෙන එවුන් ගැන ඉතින් කවු ගී ලිය උනා මදී.

                      අන්තිමේදි මම කරත්තෙන් බහිද්දි මගේ සරීමේම කොර වෙලා, කොර වක් වෙලා. අක් මුල් දිය වෙලා. මම ගොන්නු දෙන්නට තැන්කූ කියලා ගියා තඹේගේ ගෙවල් දිහාට. මං යද්දි අන්දර වැට අස්සෙන් මොකෙක්දෝ සතෙක් සර සර ගානවා.  කිට්‍ටු කරලා බලද්දි මොකෙක්දෝ එකෙක් වැට ගාව ඉන්දං කොකම් පානව තඹේලගෙ ගේ ගාව. අම්මට ඩෙගා. කවුද ඩෝ මේ කියලා මම හෙමීට පස්සෙන් ගිහින් බෙල්ල ලඟින් ඇල්ලුවා ඩිස්කනෙට් වෙන තරමට.
"හම්මට උඩු බො‍ටුව බො‍ටුව. හම්මෝ මගෙ හුම්ම හිර වෙනෝ. හුම්ම හුම්ම." පැමිලියර් වොයිස් එකක්. යකු මේ පර්නැන්ඩුනෙ.
"මොන කෙහුරක්ද මේ වැටවල් අස්සේ රිංගගෙන කොරන්නේ බොල? ‍තෝ කොත්තු බලනවද?"
"නෑ නෑ. හරකෙක් වගේ උඩු බුරන්නෙ නැතුව වාඩි වෙයකෝ. මම මේ සප්ර්යිස් එකක් දෙන්න යන්නේ." මේකා මාවත් ඇදගෙනම වැට යටට පාත් උණා.
"මොක? කාටද? මම ඇහුවා. "වෙන කාටද, තඹේට." මූ කියාපි.
"ඉතින් පිං ගොනෝ අද අපිට එන්න කියලා කිව්වේ තඹේමනේ. ආයේ සප්‍රයිස් දෙන්නේ අහවල් එකකටද. ඌ දන්නවනේ අපි අද එනවා කියලා. ඊටත් මේ වැඩ අස්සේ ගෙදර මිනිස්සු වැට මැද්දෑවට ඉඳුල් වතුර වත් විසි කලොත් ‍තෝත් සුං මත් සුං. මෙන්න මෙහෙ වර යන්න, ආවා මෙතන දෙන්න සප්‍රයිස්.ලබ්බේ තොවිල"                                           
                           පර්නෑන්ඩූ විශ්මයාදී ළකුන නහයෙ ඔතාගෙන ආවා ගේ ඉස්සරහට. අපි ගිහින් දොරට තට්‍ටු කලා විතරයි වවුල් ‍රැණක් අපිවත් පෙරළගෙන ගියපි ගේ ඇතුළේ ඉඳන් එලියට. හප්පා වවුල් ගඳේ බෑ. මම නිකමට බෙල්ල දාලා බැලුවා ගේ අස්සට. ඇටපල් කලුවරයි, ඒ මදිවට වවුල් ගඳයි. මම ටිකක් සලිත උනා. අපි මේ හරි ගේ ගාවටමද ඇවිත් ඉන්නේ කියල. වටේ පිටේ ඇවිදලා බලද්දි ගේ නම් හරි. ගේ ඉස්සරහම තියනව රුවිතෙට හිටෝපු පඹයෙක්.
                   තව තඹේ එක එක මිනිස්සුන්ගෙන් උස්සපු පෑන් වලින් හදපු අටමගලක් එල්ලා තිබ්බ ගෙයි මිදුලේ ගහක. ඒක නිකම් හූනියමක් වගේ. ඒක දැකපු එකෙක් මැරෙන්නේ අර්ශස් වැඩි වෙලා. තව ඌම හදපු මල් වත්තක් වගේ වියුහයක් තිබ්බ මිදුලේ අයිනකට වෙන්න. ඒකට මල් වත්තක් කියන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනි. ඒකේ ගස් නෑ. කඳන් විතරයි. නිකම් ඉරට්ටකට තිබ්බොට්ටක් උල ගැහුවා වගේ. කඩුල්ලට හරහට දාලා තිබ්බ පතරංග පිඹුරු දෙන්නත් එහෙම්මමයි. මේ නම් තඹේගේ නිවස බව නිස්චිතයි. කෝකටත් මම ගිහිල්ල ගේ ඉස්සරහ තිබ්බ පොල්ල අරන් දොරට තඩි බෑවා. ආයේ සැරයක් වවුල්ලු සැට් එකක් ඉගිලිලා ගියා. යකෝ මුං බැට්මෑන්ට මේ ගෙදර බදු දීලද? 

                          කව්දෝ ඩෑල් එකක් ගේ අස්සේ ඉඳන් ආවා. ආ තඹේ. තඹේ එනවත් එක්කම නිකම් හඩු ගඳ වාශ්පයක් වගේ එකක් අපිට ආවා. එක නිකම් හඩ්ඩෙක්ගේ ජීවන පුසුඹ වගේ. ඒ ගඳ මගේ නැහැ පුඩු හරහා ගිහින් අන්නස්‍රෝතයෙන් එතුළට ගිහිල්ල ඊට පස්සේ බොක්ක පුරා ඔඩු දුවලා අන්තිමේදි උන්ඩුක පුච්ඡයේ කේශ නාලිකාවක් පුපුරවන්න තරම් බලවත්. බුදු බණ ඇත්ත කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. මේ දෙතිස් කුණපයෙන් පිරුණු සරීරේ.
"මොකෝ ඕයි මේ හද්ද දවල් වව්ලෝ ගේ අස්සේ පියාඹන්නේ?" මම පැනපු ගමන් අහපි.
"මේ ටිකේ මෙහෙට කරන්ට් නෑ නෙහ්. ඉතින් ඇටපල් කරුවලයි මෙහේ කොයි වෙලාවෙත්. ඉතින් වව්ලෝ ඇවිල්ලා පදිංචි උණා. උංට මෝටිං ගැහුවට ගියෙත් නෑ.ඒ උණාට අවුලක් නෑ. උංගේ පුසුඹ ශෝක්." හපෝයි මෙහෙ ඉඳලා මගේ හුම්ම හිර වෙලා මැරෙන්න වෙයිද දන් නෑ. ඉයේ රෑ හීනෙනුත් මම පාලම් කොඩි දැක්කා.
"එතකොට මොකක්ද මේ එන අමු හඩු ගඳ?" පර්නාන්ඩූ අහපි. ආහ් එහෙනම් එයාටත් ඒක දැනිලා. මට පිස්සු නෑ. යේ.  "
මේකනේ, කරන්ට් නෑනේ, ඉතින් වතුර ගහන්න බෑ, ඉතින් නාන්න විදියක් නෑ. අපි දැන් මාස තුනකින් නාලා නෑ. හරි සරලයි." ඒ කතාව අහපු මගේ හිරි ඔතප් බි‍ඳෙනවා තව ඩිංගෙං. අවුලක් නෑ, කාගෙ උණත් දරුවෙක්නේ.
               මෙහෙම කියලා මං පර්නෑන්ඩු දානෙට ගෙනාපු පාර්සලේ නිකම් මම ගෙනාවා වගේ තඹේට දුන්න. පර්නැන්ඩු කොකම් පාද්දි මම ඒක ඉස්සුවේ වැට ගාවදි. ආයේ තඹේට මොනා අරං එන්නද. මූ ගාව තියන ඒවා අතපත ගාගෙන යනවා මිසක්. හෙහ්.දානේ ගෙදර අපිට භාර උණු මුල්ම වැඩේ උනේ පොල් ගෙඩ්ඩක් ලෙලි ගහන එක. පර්නෑන්ඩූ මුලින්ම පණ්ඩිතයා වගේ ගත්ත පෙරමුණ. පර්නෑන්ඩූ පොල් ගෙඩිය ලෙලි ගහපු පාර ලෙලි ගියේ උදැල්ලේ. පොල් ගෙඩියට මෙලෝ හෙණයක් නෑ. ඒක දැකලා ගෙදර මිනිස්සු ලෙල්ල පිටින් ගෙඩිය බිඳලා ඒක ගා ගත්තා. ටික වෙලාවකින් තඹේ නිකම් නැට්ට ගිනි තියා ගත්තු හනුම වගේ දුවන් ආව එතනට.
"ඒ උදව්වක් කරපංකෝ."
"මොකක්ද?" මේ හාෆ් බොයිල් කරපු බත් වගේකට ඉඟුරු වැටිලා. ඒ දෙක වෙන් කරලා දියන්කෝ." ඒක ඇහිච්ච එහා පැත්තේ හිටපු වව්ලෙක් උඩ පැනලා බල්ටි දෙකක් ගහලා විසිල් එකකුත් ගැහුවා.
"මොකක් මොකක්?"
"මේකනේ මය්යොක්කා කාලා ඊට පස්සේ ඉඟුරු කන්න එපාය එහෙම හොඳ නැතය කියලා පෙරේදා කොහේද එකෙක් දුමක් ගහලා මැසේජ් එක දීලා."
"ඒ ඇයි ඒ එහෙම කන්න හොඳ නැත්තේ?" පර්නෑන්ඩූයි තඹේයි මගෙන් අහපි.
"මේකනේ ඉඟුරු හැදෙන්නෙත් පොලව යට. මය්යොක්කා හැදෙන්නෙත් පොලව යටලු. ඒ හින්දා ඒ දෙකේම මැටි. ඒ දෙක එකට කෑවාම මැටි වැඩි වෙලා මැරෙනවා. " මම මගේ ඥාණාන්විත පරිකල්පන මෙව්වා එකෙන් උත්තරේ දුන්නා. පර්නෑන්ඩුයි තඹේයි ඒක එහෙමයි කියලා හිතා ගත්තා.
                                  මැට්ටොත් එක්ක ජීවත් වෙන එක කොච්චර ලේසිද. ඒකට වෙන උන්. ඇහුවොත් අහන්නේ මාගලක්.
"ඉතින් මොකෝ උණේ?" බැක් ‍ටු ඉස්ටෝරි.
"ඒ දුම ගහපු එකා ඊට පස්සේ කියලා හාෆ් බොයිල් බත් එක්ක ඉඟුරු කන්න හොඳයි කියලා. අදයි ඇත්ත සිද්දිය දැන ගත්තේ. ඌ මැසේජ් එකේ දෙවනි බාග දෙන්න හදද්දි කැලේ හිටිය කොටි හපුවෙක් මූව පන්නලා. මූ මරෝ තියාගෙන දුවලා. ඉතින් දුම ගහන්න එකෙක් ඉඳලා නෑ. මෙහෙ උං  ඒක කියවලා වැරදි මැසේජ් එකක් සිරා අරගෙන ඉඟුරු සහ බත් මික්ස්චරේ හදලා. අන්න දැන් ඌ වෙද ගෙදර ඉඳං හඳුන් කූරකින් ‍ටුවීට් එකක් දාලා තියනවා සිරා සිද්දිය කියලා. එතකොට අපේ ගෙදර අය ඉඟුරු හාෆ් බොයිල් බත් මික්ස්චරේ හදලා ඉවරයි."

"ඉතින් කොහොමද දැන් උන්දැට?" මම ඇහුවා.
"ආහ් අවුලක් නෑ. අපේ ගෙදර මොකෙක්ටවත් කන්න වෙලා නෑ. මේ කලුවර අස්සේ හැඳි හොයන්න ගිහින් කට්ටියම බිත්ති වල ඇනිලා සිහි මුර්ජා වෙලා."
"නෑ නෑ බං, කොටියා කාපු එකාට කොහොමද?"
"ආහ් ඌට ගානක් නෑ, මූ එතන හෙලකින් පහලට පැනලා. දැං නහයෙන් කටින් ලේ දානවලු. පැන්න පාරට ගලනාලේ දොට්ටලු." එහෙම කියලා මේං එයා ගෙනාවා පතරංග ටැන්කියක්.

"මේක තමයි මික්ස්චරේ." තඹේලා කන්නේ හැන්දෙන් නෙවෙයි මං හිතන්නේ. කෙලින්ම සවලෙන් ගහනවා ඇත්තේ.

                  මං හිතන්නේ මෙහෙම බත් වලින් ඉඟුරු වෙන් කරන ලෝකෙ පළවෙන්නි සැට් එක අපි වෙන්න ඇති. ඇයි දෙය්යෝ ඉඟුරු වලින් බත් අයින් කරපු එවුන් ගැන කතා කොයි ලෝකෙද තියෙන්නේ. සෑහෙන වෙලාවකට පස්සේ අපිට පුලුවන් උනා යන්තම් බත් වලින් තොර අගනා ඉඟුරු සාම්පලයක් සකස් කර ගන්න. එතකොටම තඹේ අපිට අරං ආවා මොනවදෝ වීදුරු වගයක්. ඒවට උඩිං අන්නාසි මලකුත් ගහලා.

"මේ මොකො බං මේ?" මම අහපි.
"ඔයාලා ගොඩක් මහන්සි උනු හින්දා මේ රිෆ්‍රෙස් ඩ්‍රිංක් එකක් ගෙනාවා." මූ කියපි.
"මේ මොන ඩ්‍රිංක් ද බං? මේ කොළ හඩුවක්නේ.බලපං මේකේ තියන කොළ අතු ගොඩ. නිකම් වැසි වනාන්තරයක් වගේ. අර, ඒක අස්සේ ඉඳන් ඔරං ඔටං එකෙක් මට අතත් වනනවා." සිරාවටම කිව්වොත් ඒ පඳුරු ටික අයින් කරලා මිසක් මේ බීම බොන්න බෑ. මොන උලව්වකට මේ හද්ද කැලයක් බීම එකට උඩිං තියන් ආවද මන්දා. ඕක යසට දීපියකෝ ඔය ලන්ද අයින් කරලා.

"ඒකට තමයි හරක් කොහෝ මේ බට තියෙන්නේ. ඔය උඩිං තියෙන්නේ සැරසිල්ල. ‍තෝ එක උලා නොකා බටෙන් බීම ටික බීපියකෝ." එහෙම කියල මුන්දැ බීම බට දික් කලා. නොදකිං. මම වර නගන්න කලින් මේක දෙන්න එපැයි.  මම ඉතින් හත් පොලේ ගාගෙන හතර පලට වැඳගෙන මේක බිව්වා.

                    අපි මේක බිබී ඉද්දි එක පාරටම පසු බිමින් "යවූ යවූ" කියලා මියුසික් එකක් ඇහුණා. එක පාරටම ඔලුවේ ලොකු කැපුම් දෙක තුනක් තියන ඩෑල් දෙකක් ඇවිල්ලා ගෙදර වටේට චෙක් කරලා ගියා. ඊට පස්සේ ආයේ "යවූ යවූ " කියලා සද්දයක් ඇහුනා. තව ඩෑල් දෙකක් කැති කොට දෙකකුත් අරන් ඇවිල්ලා අපේ අතේ ආයුධ තියනවද කියලා චෙක් කරලා ගියා. මුන් අල්ලපු පාරට පර්නෑන්ඩූට කිචි කැවිලා එතන මැද්දෑවේ බාලොලි නටන්න ගියා. තව පොඩ්ඩෙන් උන් අනිනවා කැත්තෙන්.  ඊට පස්සේ මූ ගත්තා කෝල් එකක්.
"හරි මැඩම් හරි. ඔව් මැඩම් සෙට් එකම ඉන්නවා මෙතන. ඔව්. අර විත්ති ලියන එකා ඇරෙන්න අනිත් උන් නම් හාල්පාරු පාටයි ඔව්, කොන්ඩේ කපලා පැත්තට පීරලා. ඒරියා ක්ලියර් මැඩම්." එහෙම කියලා මූ ගියා අනිකා එක්ක එලියට.
"මොන බිබික්කමක්ද යකූ ඒ උණේ?" මම මුලින්ම සිහි එලවාගෙන ඇහුවා. අනිත් උන් කාටවත් තවම සිහි නෑ. එතකොටම තව මල විකසිත කර ගත්තු තාල වර්ගයට අයත් වයසක ඩෑල් එකක් ඇවිල්ල උගුර පාදලා හයියෙන් පොතේ ගුරු වාක්‍යක් කිව්වා.

                     "සකලසිරින් පිරි සිරිලංකාවේ, අගනුවරට නුදුරු වූද, කුඩ්ඩෙන් විරාජමාන වූද, කසලින් බැබලුනා වූද, සියලු සතුන්ට පොර වූද, සියලු පඬින්ට පඬි වූද, විසිරුණු මල් පෙති දෝතට ගත්තා වූද, අම්මට සිරි වූද, හෙවි රොක්ස් වූද අප මහ ඩබල් ඩී ඇත්තී දැන් මේ ඉස්තානයක සැපත් වන සේක." මෙහෙම කියලා මූ කණ් දෙක අල්ලගෙන උඩ පැන්නා. ඊට පස්සේ ඩිෆ් ගහලා දිවත් දොට්ට දාගෙන ගියා ගෙදරින් එලියට.
                                          හම්මට යකූ මෙහෙට එන සේරටම සයිකො ගහනවනේ.අපි මේ යහපත් සරීර සවුක්යෙන් ඉන්න එක පුදුමයි. ඩබල් ඩී නම් මේ අහිගුන්ඨිකයෝ ටිකක් හයර් එකකට අරං ඇවිල්ලද කොහෙද ඩ්‍රැමටික් එන්ට්‍රන්ස් එකක් දෙන්න. ඒ වැඩෙන් පස්සේ තමයි දානේ වෙලාව ආවේ. පර්නෑන්ඩූ දානේ ඉවර උනාම කෙලින්ම ගියා කුස්සියට.
"හයියෝ වැඩියෙනුත් බෙදලා. මෙච්චර කන්න බෑ." මූ බත් උයලා තියන වලඳ දිහා බලන් කියනවා.
 "මචං ඔය වලඳ. අර පිඟන් වලට බෙදා ගනින්." ඩබල් ඩී පැත්තක ඉඳන් කියනවා.
                           පස්සේ පර්නෑන්ඩුයි ඩබල් ඩීයි එකතු වෙලා බත් උයපු සාස්පාන් දෙකේ පියන් දෙක අරන් ආවා. එකට බත් පොඩ්ඩක් බෙදා ගත්තා නිකම් ජේතවනේ වගේ. ඊට පස්සේ මහවැලිය වගේ හොදිත් බෙදාගෙන පැත්තකට වෙලා ඒකට සවල් පාරවල් වනන්න ගත්තා. මම මුං දෙන්නට ලං කරලා ඇහුවා
"යකූ පවුල් ප්‍රස්නද මේ කාලා මැරෙන්න යන්නේ?" කියලා. ඒක දැකලා ගෙදර අංකල් ලඟට ඇවිල්ල කිව්වා "කමක් නෑ පුතා, අපිට මදි උනොත් අපි කඩෙන් හරි ගෙනල්ලා කන්නම්. පුතාලා දැන් කන්න කියලා." හය්යූ යන තැන සායම හෝදනවා මුං.

                        කන ගමන් තමා තඹේ අපිට නියම නියුස් එක කිව්වේ. කට්ට බිබික්කන් කොම්පැනියකින් තිබ්බ තරගෙකින් තඹේ දිනලා රට යන්න චාන්ස් එකක් ලැබිලා. ඒක මෙලෝ යකෙක් කන වර්ගයක් නෙවෙයි. තඹේ කෝම හරි එව්වා කාලා දවටන තැපැල් කරලා. කොම්පැනියත් හනේ අපේ එකම කස්ටමර් කියලා මූව රට යවන්න හදනවා.අපි ඉතින් එයාට සුබ පතලා ඇස් වහ යන්න දෙහි ගෙඩ්ඩකුත් කපලා සුරේකුත් බැඳලා ගෙවල් වලට ආවා.
             පස්සේ තමයි ආරන්චි උනේ, ඒ කොම්පැනියෙන් තඹේව එක්ක ගිහින් තියෙන්නෙ කන්කසන්තුරේට. එහේ ඉන්න ඇහැ‍ටුල්ලෝ ටිකකුයි මානම් ගස් ලන්දකුයි පෙන්නලා මෙවා තම රට කියලා මූව ආපහූ ගෙදර එවලා. මූත් දැන් ගෙදරට, කඩේට, ලොත‍රැයි කූඩුවට එන හැම පඟර නැට්ටටම කියනවා මූ රට රාජ්ජ වල කරක් ගහපු ඩෑල් එක කියලා. ඒ උණාට ප්ලේන් එකේදි කොන්දා මාරු සල්ලි ඉල්ලුවොත් දෙන්න කියලා මෙහේ ඉඳන්ම පිං කැට කඩලා සිලිං බිලිං ගගා එයපෝට් ගිය කතාව දන්නේ අපි විතරයි.