Search This Blog

Thursday, April 20, 2017

ප්‍රොජෙට්ටූ - 2

ගිය වතාවේ අපේ ප්‍රොජෙට්‍ටුව ගැන ලිව්වේ නැතුව වෙන ජිප්පුවක් ලිව්වා කියලා සමහරු චෝදනා නගලා තිබ්බා. එව්වා ඒ හැටි ගණන් ගන්න එපා. මගේ වයර් සෝට් වීම ඉතාම සාමාන්‍යයි. හඳේ වෙනස් වීමත් එක්ක ඒක අඩු වැඩි වෙනවා.

      කෝමහරි කණ්ඩායම් වියාපෘතියේ සීසන් ටූ තමා ලැබ් එක ඉස්සරහ තියන ඒරියා එක වටේ වැටක් ගැසීම සහ පොකුණ සුද්ද කිරීම. මේ ඒරියා එක මාර සුන්දර ප්‍රදේශයක්. මේක මැද්දෑවේ තියනවා පෙරිය සයිස් පොකුණක්. අපි විවේක වෙලාවට මාලු බාන්නේ මේකේ. හාල් දණ්ඩියෝ එහෙම මේං සයිස්.
        අපි මාලු බාන්නේ ඔය පිං මාලු වලවල් වල මාලු බානවා වගේ නෙවේනේ. කෙලින්ම ලැබ් එකෙන් සෝඩියම් කුට්ටියක් ගෙනල්ල අත අරිනව පොකුණ මැදට. ඩෝං ගාලා සද්දයක් එනවා. මාලු කෙලින්ම උඩ.  මාලු බාලා මදි උණු දවසට අපි ලමයි බානවා. එතකොට කරන්නේ නැ‍ටුම් කාමරේ පිටිපස්සේ තියන දඩාර පානීය වතුර ටැංකියට සෝඩියම් කුට්ටියක් සෙත්ත පෝච්චි කරන එක. එතකොට අත හෝදන පානීය වතුර බීලා ලමයි පාවෙනවා. හැබැයි ලමයි බාන්න වැඩිය අයට උනේ නෑ. අපිට කලින් ලමයි බාන්න ගිය සෙට් එකකට ඉස්කෝලේ අත ඇරලා ඇත්තටම මාලු බාන්න යන්න සිද්ද උනා.

                දැං වැඩේ වත්ත වටේ වැට ගහන එකනේ. වැඩේ කියන්නේ පංතියේ සෑහෙන අය වත්ත වටේ ගියාට වත්ත වටේ වැට ගහන්න මෙලෝ බල්ලෙක් නෑ. ගෑණු ලමයි කියනවා අපිට වැට ගහන්නලු, එයාලා ඇඹුල අරං එන්නම්ලු. ඒක හරි කෙලියක්නේ අෆ්ෆා.  අපි ඇඹුල ගේන එක සෙට් කරන්න හිටියේ සෙබාට. කෝමහරි ඕනි ජිලක් පනම් අටයි කියලා අපි වැඩේ ප්ලෑන් කලා. උණ බට වැටක් ගහන්න තමා ප්ලෑන. උණ බට ගේන්නේ සේනයගේ ගෙදරින්.
                                              සේනයා මහා කම්මැලි එකා.කම්මැලිකමේ අග තැන්පත්. මේ ගස් හෝතඹුවා කොච්චර කම්මැලිද කියනවා නම් මුංගේ ගෙදර මූට කාමරයක් දීලා නෑ. නිකම් වත්ත පහළ කණු හතරක් ගහලා දීලා තියෙන්නේ.  හරියට නිකම් ඇත් ගාල වගේ. ඒකේ මෙලෝ එකක් නෑ. නෑ කියන්නේ ඇත්තෙම නෑ. දොරක් දාලා නෑ මූ දොර අරින්න කම්මැලි කිව්වා කියලා. ඇඳක් නෑ ඇඳට නගින්න කම්මැලියි කියලා. පැදුරක් නෑ ඒක එලා ගන්න කම්මැලියි කියලා. අඩු ගානේ බත් පිඟානක්වත් නෑ. කාලා ඒක හොදන්න බෑ කියලා. නොදකින්. පිඟාන හෝදන්න බැරි නම් අඩු ගානේ ඉඳුල් ටික පේන්නේ නැති වෙන්න ලෙව කාපං මං වගේ. ඒකත් නෑ. හැබැයි අපරාදේ කියන්න බෑ. කාටවත් කරදරයක් නැති එකා. මූ ඉස්සරහ මිණියක් මරලා දාලා ගියත් මූට ගානක් නෑ. වැඩිම උණොත් "මැරුවා නේද ?" කියයි. එච්චර ගෙහෙඩියා. 

      ප්‍රොජෙට්‍ටුව කරන්න හිටිය දවසේ උදේ සෙට් උණා අපි පාන්දරම වැඩේ ඉවරයක් කරන්න කියලා. ඇත්තම කිව්වොත් අපි හැදුවේ ඉක්මනට මේ ගල් හුචක්කුව ඉවර කරලා අල්ලපු වත්තට පනින්න. එහේ ගස් වල කුරුම්බා හැදිලා. දුකේ බෑ අප්පා.  අඹත් හැදිලා, පැහිලා දෙකට කැඩිලා. සෝක්. කෝම හරි අපි ඉස්කෝලෙට සෙට් වෙලා දැන් උණ බට කපන්න යන්න හදන්නේ. කට්ටියම ඇඳන් ආපු සිවිල් ඇඳුම් ගලෝලා වෙන ඒවට මාරු උණා. සෙබා ඇන්දා බ්‍රෑන්ඩ් නිව් අමුඩයක්. ටෙලා උගේ අමුඩේ ගයාට දීලා ගයාගේ අමුඩේ ඌ ඇන්දා. හරිනේ. ඇඳුම් මාරු කරන්නනේ ඕනි. මාත් මේ රුපියල් පණහට පේමන්ට් එකෙන් ගත්තු මල් මල් ෂෝටක් ඇන්දා. අනිත් උං ඒ ගමන් මට ජාත්‍යාලේ ගැන කියවන්න එනවා. අමුඩේ ඇන්දාම ජාතික හැඟීම වැඩි වෙනවාලු. ලොජික් තමා. ඇත්තම කිව්වොත් අම්මා මගේ රෙදි ටික හේදෙන්න දාලා. එව්වා පෙ‍ඟෙන්නම දවස් හතක් දාන්න ඕනි. ඒකයි ෂෝටක් ගන්න උනේ.

  දැන් අපි කඩු කිණිසි අමෝරාගෙන යනවා උණ බට කපන්න. සේනයා ගෙදර ඉන්නව කිව්වනේ. දැන් අපි පාරේ ඔහේ යනවා. යනවා යනවා ඉවරයක් නෑ. මං හිතුවේ අනිත් උං සේනයගේ ගෙවල් වලට යන හැටි දන්නවා කියලා. ටිකක් දුර ගිහින් හැම එකාම නිකම් කට්ට කුමජ්ජල් කාපු ඇටවක්කෝ වගේ ගමන ස්ලෝව් කරනවා. බැලින්නම් එක මූසලයෙක් දන් නෑ සෙනගේ ගෙදරට යන පාර. 
"නොදකින් තොපි වගේ උං. යකෝ මනුසෙක්ගේ ගෙදරට යද්දි දැනං යන්න එපැයි." ඕන්න පටන් ගත්තා සෙබාගේ දේශනේ. ඕකා හැමදාම ඔහොම්මමයි. කෙළ වෙනකම් ඉඳල දෙසනවා.

 "ඉතින් ‍තෝ මෙච්චර වෙලා අ‍ටු කොස් වේලුවද. ‍තෝ දැනගෙන කියන්න එපැයි." මං කිව්වා. ඌ එතනින් එහාට මුකුත් කිවේ නෑ. කෝමහරි පාරේ යන බයික් කාරයෙක් අපි නවත්ත ගත්තා.

  "අයියා දන්නවද සේනගේ ගෙදර?" සෙබා ඇහුවා.

"කොයි සේනද?" 

 "අර ඇත් ගාලේ ඉන්නේ."  සෙබා.

"කොයි ඇත් ගාලද මල්ලි?" 

"අර ඔලිඳ කෙලින්න ගිහිල්ල දොඩම් කපා ඇඹුල් තනපු ඕමරි කෙලියේ කළුත් එක්ක පැනලා ගියේ?  " සෙබා ඇහුවා. 

"කොයි කළූද?" මූ ඒ දන්නෙත් නෑ වගේ.

"අය්යා මෙහෙද?"

"නෑනේ මල්ලි, මං තුම්පනේ. බෙල්ට් එකේ හිලක් විද ගන්න මෙහේ ආවේ."        නොදකින් ඉඳලා ඉඳලා හම්බ උනු එකත් මං මුලා වූ එකෙක්.අයියා සමනළියංගෙං පාර අහන්න එපා හොඳේ.
 
ඒ ගමන් අපි පාර අයිනේ කඩේකින් ඇහුවා.
 "ඔය කියන්නේ අර මාසේන් මාසෙට රට ගිහින් අං කපාගෙන එන එකා නේද?" අංකලුත් ඇහුවා අපස්මාර ප්‍රශ්නයක්.
 "නෑ අංකල්. එහෙම එකක් නම් අපි දන් නෑ."

 "එහෙනම් ඔය කියන්නේ අර ගෝනි පනින්න ගිහින් පත බෑවිලා පතිවත හීරුණු එකා වෙන්න ඇති." අංකල් ආයෙත් අහනවා.

 "යකෝ කොහොම උන්ද බං මෙහේ ඉන්නේ?" ගයා මගෙන් අහනවා.

 "නෑ නෑ අංකල්, අර වත්ත පහළ ඇත්ගාලක ලගින ඩයල් එක? ඕකා කොයි වෙලෙත් කුදහ ගත්තු ගමන්මයි."  

"ආ ඔය කියන්නේ අර හෙමින් බයිසිකල් පදින එක දිනපු එකා, මූට බයිසිකලේ පදින්න කම්මැලි කියලා අනිත් උං පදිනකම් මූ බැලන්ස් එකේ හිටියනේ." අංකල් කියාපි.
හරියට හරි. ඕකා තමා ගෙවලයා.

"පුතාලා ඔතනින් කෙලින් ගිහින් ඊට පස්සේ බත් කන පැත්තට ඇති පාරක්, ඒකට හැරිලා ඊට පස්සේ ඇති වල් මීමින්නන්ට ලාඩම් ගහන තැනක්, එතනින් කෙලින්ම ඉස්සරහ ගෙදර." හරි ඉතින් අපි නික්මුණා එල්ලය බලා. ඉස්සරහට ගිහින් අපි සේරම දකුණු පැත්තකට යද්දි සෙබා විතරක් යනව අනිත් පාරේ.

 "මට්ට හිකනලෝ බත් කන අත පැත්තට යකෝ යන්න කිව්වේ. ‍තෝ ඔය කොහෙද යන්නේ?"

 "මං යන්නේ මං බත් කන අත පැත්තට." ඌ කියාපි.

 "‍තෝ එතකොට අහවල් එක කොරන්නේ දකුණතින්ද?" මං අහපි.

 "හ්ම්." නොදකින් ඉතින් මුං වගේ උන් එක්ක වැටවල් ගහන්න තියා බට පතුරක් කපන්න පුළුවනැයි. කෝම හරි මූව ඇදගෙන අපි ගියා සේනයගේ ගෙදරට.

  අපි මිදුලටම ගිහින් කතා කලා. "සේනයෝ" එක පාරට නාග සලං සල සල නංගි කෙනෙක් ආවා ඉස්සරහට. එයා අපි දැක්ක ගමන් මරෝ තියාගෙන දිව්වා ගේ අස්සට. මං බැලුවා වට පිට ඉන්න අපේ උං දිහා. මුං හිරි ඔතප්ප බි‍ඳෙන වැඩක් වත් කරළද දන් නෑ. එහෙමත් අවුලක් නෑ. යසට සංවරව ඉන්නවා.
  ටික වෙලාවකින් සේනගේ තාත්තා මන්නයක් උස්සන් සරමත් නවාගෙන ආවා ගේ ඉස්සරහට දුවගෙන. අම්මා ගහයිනේ බැට් එකෙන්. අපේ උං කෙලින්ම වාශ්ප උණා වගේ හති අතේ. එකෙක් පොල් ගහේ. අනිත් එකා අර ලාඩං ගහන තැන අංකල්ගේ කර උඩ. තව පොඩ්ඩෙන් උගේ අත පය හතරටම අංකල් කාරයා ලාඩං ගහනවා රිවට් ඇණේ බුරුල් වෙන්න. තව දෙන්නෙක් විතර වත්තේ පොල් වලවල් වලට වැටිලා. එකෙක් පොල් ගහේ ඉඳන් අහනවා
 "මොකෝ අංකල්, අපි සාමෙන්නේ ආවේ" කියලා. එතකොට සේනයා නිකම් හංගොල්ලෙක් බෙරගල නගින්නා වගේ බඩ ගගා ඇවිල්ලා කියනවා,
"යකෝ නංගි බය උණු එක සාදාරණයි. බලපියව් තොපේ හැටි." කියලා. හැබෑ තමා ඉතින්. අපි මේ අමුඩ කෙටි ඇඳගෙන කැති, පිහි අරගෙනනේ එන්නේ.

  ගයාගේ ෂර්ට් එකේ පිට නෑ. ටෙලාගේ එකේ බොත්තම් නෑ. මූ දොඩම් කට්ටකින් වැඩේ ශේප් කරං ඉන්නේ. කොටාගේ එක ෂර්ට් එකක්ද කියලා තවම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒකේ උඩත් නෑ, පහළත් නෑ. මැද විතරයි. මට ෂර්ට් එකක් නෑ. මං මේ අර ගෝනියක හිල් දෙකක් හදලා ඒකට බැහැලා දෙපැත්තෙන් සෙලෝටේප් එකක් ගහගෙන ආවේ. මෙහෙම ගෙවල් වලට ගියාම මිනිස්සු බය වෙනවා ඇති.

  කෝමහරි ලණුවක් දාලා අර පොල් වලට වැටිච්ච දෙන්නවත් ගොඩ ගත්තා. හාපෝ. උන්ගේ ගඳ. ඊට පස්සේ අපි ගියා උණ බට තියන තැනට. ගිහින් හිතේ හැටියට කැපුවා උණ බට. අපෙ උංට ඉතින් අහු උණාම දන්නවනේ. ආතල් එකටත් එක්ක කපනවා. උණ වැටට කියයි, ගේට්‍ටුවට කියයි, අන්තිමේදි වෙසක් කූඩු හදන්න පවා බට කැපුවා අගෝස්තු මාසේ.  කෝමහරි අන්තිමට ඉතුරු උණේ මෙලෝ වැඩකට නැති දහ අට වංගුව වගේ ෂේප් එකක් තිබ්බ උණ ගහක් විතරයි. අපේ උං ආතල් එකටත් එක්ක උණ ගස් කපලා. අංකල් කාරයා නිකම් සාගතේට අහු උණා වගේ. අංකල්ගේ නත්තාගේ කාලේ ඉඳන් පැවත එන උණ පඳුරක්ලුනේ මේක. අංකල්ගේ සීයා මුලින්ම මනාලියක් බලන්න යද්දි රූං පෙත්තක් හදන් ගිහිං තියෙන්නේ මේ උණ පඳුරෙන්ලුනේ. අංකල්ගේ තාත්තා මේ උණ පඳුර ගාව ඉඳන්ලු අංකල්ගේ අම්මාට ඇහැක් ගැහුවේ. ඉතිං බලන්න ඒ සීයට අවුරුදු අසූවක්. ආච්චිට හැත්තෑ පහක්. නාකි විසේ.  ඒ ගමන් අංකල් මන්නයක් අරං ඇවිල්ලා මේකත් අරං පල කියලා අර ඇද ගහත් කපලා දුන්න.

  ආයේ අවුරුදු දහ අටකට වත් උණ පඳුරට ගොඩ ඒමක් නෑ වගේ. පව් අප්පා. අපි මේ වන විනාසය නවත්තන්න ඕනි. මං නම් ආසම නෑ.කොහෙද මුං එක්ක බෑනේ. උණ බට කපලා ඉවර උණාමයි මතක් උනේ අපි මේවා කර ගහගෙන ආයේ ඉස්කෝලෙට යන්න ඕනි නේද කියලා. හුටා. කලින් මතක් උණා නම් ලොරියක් කතා කරන් එනවා. කොහෙද ඉතින් අපිට සිහි නෑනේ. සේනයා තිරික්කලයක් කතා කරලා දෙන්න ඇහුවා. හැබැයි අදින්න ගොන්නු නැහැල්ලු. අපිට තමා අදින්න වෙන්නේ. ඒක අපේ බවුමික අඛණ්ඩතාවයට ඒ තරම් සුදුසු මදි හින්දා අපි කර තියාගෙනම ගේන්න හැදුවා.

  මගක් දුර එනකොට සෙට් උණා නල්ලබාර් පොට් එකක්. වතුර පීල්ලක්. අපේ උනුත් නිකම් සෝමාලියාවට පාං දැම්මා වගේ. වතුර පොදක් දැකලා නැති උලම්මු. ගයා මේක දැක්ක ගමන් පැන්නා වතුර වලට. කොහොමහරි මූ වතුර කියලා පැනලා තියෙන්නේ වලේ තිබ්බ ගලක් උඩට. ටික වෙලාවෛන් එනවා මූ ඔලුවේ ටොම්බ සයිස් ගෙඩියකුත් තියාගෙන. මට හරි සන්තෝසයක් දැනුණා. යන යන තැන වතුරට පනින උංට හොඳ වැඩේ. අනිත් උනුත් නාන්න පටන් ගත්තා. කෝම හරි සෙබා නානකොට ඌ නැති වෙලා කියලා හිතං හිටිය බැනියම් සෑහෙන ප්‍රමාණයක් හම්බ උණාලු. ඒව කුණු වලට වැහිලා තිබිලා. තව මොන මොනවා හම්බ උනාද දන් නෑ. අපි හොයන්න ගියේ නෑ. කෝමහරි නාලා ඉවර වෙලා ඇඳුම් ටිකත් වේලගෙන ලඟ වත්තකට පැනලා පේර ගෙඩි වගේකුත් හොයාගෙන ඒවා කකා අපි ආවා ඉස්කෝලේ වත්තට. එතකොට ක්ලික් උණේ නාපු තැන උණ බට දාලා ඇවිල්ලා. හාං කියාගෙන ආපහු ඇවිල්ලා ඒ ටික කර තියාගෙන අරං ගියා. දැන් තියෙන්නේ වැට ගහන්න.

 දැන් ඒකට ඩිසයින් එකක් හොයන්න එපැයි. මගේ අයිඩියාව නම් අර හේන් වල තියනවා වගේ දඬු වැටක් ගහන්න. සෙබාට ඕනි කතිර කතිර ගහන්න. ටෙලාට ඕනි උණ බට සේරම ටික දර වලට විකුණ්ලා ඒ සල්ලි වලින් සළු වෙන්න, ගයාට ඕනි ඒ ටිකෙන් ගිනි මැලයක් ගහලා ඒක වටේ කිරි කොරහ නටන්න. අවසානේ ආවා තීරණේකට. දඬු වට වගේ ගහන ගමන් මැද්දෑවෙන් කතිරත් ගහනවා. උණ බට ඉතුරු උණොත් එවයින් ටිකක් විකුණලා සළු වෙනවා. තව ඉතුරු උණොත් ඒවා ගන්නවා කිරිකොරහ නැ‍ටුමට. සැමට සාධාරණ සමාජයක් නේ එතකොට උදා වෙන්නේ. වලවල් හාරන්න අලවංගුවක් නෑනේ සොයා ගන්න. කෘසිකර්මෙත් අද වහලා. අපි සෙබාව යැව්වා ලඟ ගෙදරකට එකක් ඉල්ලන් එන්න.

  ඌ තමා ඉතින් මෙහෙකාරයා වගේ ඉන්නේ. මූ අරං ආවා එකක්. ඒ ගෙදර උං මූගෙ අයිඩෙන්ටිටි කාඩ් එකයි, ඇන්දන් හිටපු සරමයි ඇපේට තියාගෙන තමා අලවංගුව දීලා තියෙන්නේ. එච්චරකට සුවර් අපිව. ආඩම්බරයි පුතේ. අපිට නැති අයිඩෙන්ටියක් මූට කොහෙන්ද කියලා ප්‍රස්නෙකුත් ආව. මූ ඒක හොරෙන්ම තියන් ඉඳලා. වල් කැනහිලා. දැන් අපි වැඩ පටන් ගත්තා. ගයා වලවල් හාරනවා. මං ඌ හාරපු ඒවා ආපහු හාරනවා. ටෙලා උණ බට කපනවා, සෙබා ඒවා ප්‍රවාහනය කරනවා. තව ඉන්න එවුන් ඒව තියනවා , ගැට ගහනවා. ඒ අස්සේ තව එකෙක් උණ් බටෙන් බිලි පිත්තක් හදාගෙන පොකුණේ මාලු බානවා. තව එකෙක් ඌ අල්ලන මාලු ටික ආපහු පොකුණට දානව. සමහර මාලුවෝ මුං දෙන්නට කුණුහබ්බෙන් බැන බැන වරල් පොලිශ් කරනවා.

                                  කොහොමින් කොහොම හරි කට්ටිය හිටපු හින්දා ඉක්මනට වැඩේ ඉවර උණා. ඒත් කරුමෙට උණ බට ඉතුරු උනේ නෑ. සළුත් නෑ, කිරිකොරහත් නෑ. ෂෙහ්. හැබැයි අර සෙබා අලවංගු ගෙනාපු ගෙදර පොල් ගහේ කුරුම්බා තිබ්බලු.  ඒ ගෙදර පොල් වත්ත ඉස්සරහ බැනර් එකක් දාලා තියනවා "පොල් වත්තට බුදු සරණයි" කියලා. ඒ අපි වගේ උන්ගෙං ඕක පරිස්සම් කරන්න. ඒකෙ තියනවා කුන්දිරා ගහක්.වතුර හරි රසයි. ඉතින් අපි මුලින් සෙබා අතේ යවලා උගේ අයිඩී එකයි සරමයි ගෙන්න ගත්තා. පස්සේ කොටාව ඔත්තු බලන්න දාලා සෙබාගේ සරමෙන් හැදුවා පා වලල්ලක්. ඊට පස්සේ බුංජා යැව්වා ගහේ. මේ බුංජා වනාහි මගේ ඉන්න හොඳම බොක්ක එදා මෙදා තුර. ඌ වෙන පන්තියක හිටියේ. ප්‍රාතමිකේ ඉන්න කාලේ පවා මූ මාත් එක්ක ඉඳලා තියේ. ඒ කාලේ නම් මූ නිකම් සැරපෙණ්ඩියා වගේ හිටියේ.

                කෝමහරි දැන් මූ ගහේ. කුන්දිරා කඩනවා. කඩනවා කිව්වට කඩලා බිම දාන්න බෑනේ. සද්දේ ඇහෙනවනේ. මූ දෙක තුනක් කපලා ඒව අතින් කටින් එල්ලගෙන බිමට බැහැලා ආයේ නගිනවා. මූ මෙහෙම දෙතුන් වතාවක් නැගලා බැහැලා අන්තිමට බැස්සා. අර ජෝතිපාලගේ සිංදුවේ ඉන්න ජම්බු ගහේ නගින ලේනා වගේ. මූත් ඒ වගේමයි. ගහෙන් වැ‍ටුණේත් නෑ.  බැහැලා ඉස්කෝලෙට ඇවිත් බලනකොට කුරුම්බා කපන්න පිහිය නෑ. බැලින් නම් බුන්ජා ඒක ගහේ තියලා බැහැලා.

 "‍තෝ මොකටද යකෝ පිහියක් අරන් පොල් ගහේ බඩ ගෑවේ?" ගයා ඇහුවා.

 "තණකොල කපන්නනේ බං." මූ කියනවා. මූ ගහ උඩදි පොල් රා බීලද කොහෙද.

 "එහෙනම් යකෝ ඇයි ඒක තියලා බැස්සේ? අරං බහින්න එපැයි." ආයෙත් ගයා.

 "පොල් ගහ උඩ තණකොල කපන්න මේක අරං බිමට බැහැලා හරියනවද කැස්ව‍ටුවෝ?" බුන්ජා කියපි. මූ මහා වලිප්පු කතානේ කියන්නේ. මට ඒක තේරුණේ නෑ.කෝමහරි මූ ආපහු ගිහින් පිහිය අරන් ආවා. බොලේ වැඩේ කියන්නේ කුරුම්බා කඩන්න එක බල්ලෙක් නෑ. යකෝ බොන්න ඉන්න සෙනඟ. පාරෙ යන උනුත් ඇවිල්ල බීල යනවද කොහෙද. අපරාදේ. මං කුරුම්බැට්ටි මැශිමක් හදන්න හංගං හිටිය කුරුම්බැට්ටියත් කපලා බිව්වනේ මුං. අනේ මුංට අප්‍රතිහත ලෙස බඩ යන දවසක් ගැන මං සිහින මවනවා. ගෑණු ලමයි තව වටේ ඉන්න එක එක උන්ට අඬ ගහලත් දෙනවා. අනේ මුංගේ මූණු වල තව කුරුලෑ ඒවා. උරුලෑ ගඳ හමත්වා. මුන්ට පා වලල්ලක් දීල යවන්න ඕනි පොල් ගහේ.

 කෝමින් කෝම හරි කුරුම්බා සිද්දිය ඉවර උණා. ඒත් නිකම් බඩට හරි නෑ වගේ. අතුරුපසක් නෑනේ. එතකොටම මතක් උණා ගුරු නිවාසේ ගාව ගහේ අඹ හැදිලා තිබ්බා නිකම් ඇටි හැලෙන්න. දෙන්නම් බැටේ කියලා පොලු අරන් ගියා අඹ කඩන්න. කරුමෙට අපේ ගනන් මිස් තමා ඒකෙ ඉන්නේ. එදා මිස් ඉන්නවා ගෙදර. ඉතින් මොකේදැයි දන් වලඳන්නේ. උණ දෙයක් උණාවේ කියලා ගැහුවා පොළු. අපරාදෙ නැත්තම්. අඹ ගහ මෙච්චර කට්ට කාලා හදාපු ගෙඩි මොකෙක්වත් කෑවේ නැත්තම් අඹ ගහට ගොඩාක් රිදෙයි. කාගේ උණත් දරුවෙක්නේ. එක වතාවක් පොළු ගැහුවා. කිසිම ප්‍රතිචාරයක් නෑ. අඹ ගෙඩි බිම. ආයේ වතාවක් ගැහුවා. ඒත් ග්‍රාහකයා නිහඬයි. තුන් වෙනි පොලු පාර වදිනකොටම ඕං ජනේලේ ඇරුණා. මිස්ගේ කැළඹුණු මුහුණ ආවා එලියට.

"බොලා ඔය මක්කෙයි කරන්නේ?" මිස් දකුණේ

"මක්කවත් කොරන් නෑ මිස්" කොටා කියපි.

"එහෙනම් ඔය පොළු අතෙ තියාන අහවල් එකක්ද කොරන්නේ?" මිස් අහපි.

"නෑ මිස් මේ අඹ ගහේ සෑහෙන්න කපුටො. උන් අඹ අමුවෙන් කනවා. අපරාදෙනෙ මිස් කපුටෝ. අපිමේ උං එලෝලා උංව යහමගට ගන්න හදන්නේ." බුංජා දුන්න උත්තරයක්. මස්ත හතයි බත් දෙකටයි. 

"ඒක ඇත්තනේ මිස් බලන්න දැං ඔය ඉදෙන්නෙ නැති අඹ කෑවම ඒක කපුටගේ බඩේ වණ වෙනවා. ඊට පස්සේ වණ පොත් වෙනවා. පව්නේ මිස් කපුටෝ." මාත් කිව්වා.

මොනා කිව්වත් හැබැයි අමු අඹ විතරක් නෙවේ ඉදුණු අඹ කන්නෙත් කොහෙවත් ඉන්න කපුටොම තමයි. ඒක වෙනම කතාවක්. එතකොටම මිස්ගේ මූණ ඇඹුල් උණා හරියට මිස් අමු අඹ කෑවා වගේ.

 "තොපි ඕකට පොලු ගැහුවාම ඔය පොලු වැටෙන්නේ අපේ වහලේ උඩට බොල." මිස් ඒ ගමන් දුම්මල වරම ගත්තනේ අතට.

"එතකොට මිස් කියන්නේ පොලු නොගහ නිකම් ඊතලේකින් විදලා වගේ අඹ කඩන්නද?" ගයා ඇහුවා. මිස් කෙළින්ම අතේ තිබ්බ ඉඳුල් වතුර කොරහ හැළුවා ගයාගේ ඔලුව උඩට. ආයේ හාල්මැස්සෝ නහයේ.

"යකුනේ පොලු නොගහ කඩන ඉටිකිරිස් එකක් ගහට නැගලා කඩපියව්. මූසල හැත්ත. මුංගේ පංතියට උගන්නන්න ගියත් එකයි. ගෙදරට වෙලා නිවාඩු දවසේ හිටියත් එකයි. මාව කන්න එනවනේ." හපොයි මිස් ප්‍රචණ්ඩ වෙලා.

                          මිස් පිටිපස්සේ මොකක් හෝ අවටියල් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මකයි. අපි ඉතිං ඒ ගමන් පහු බැහැලා නැග්ගුවා ගයාවයි ටෙලාවයි ගහට. මුං අමුවා කඩ කඩා දානවා බිමට. ඉදුණු එව්වා මුං උඩ ඉඳන් කනවා. ගොං කැනහිල්ලු. කෝම කෝම හරි අතක් පයක් නොකැඩී අඹ කඩාගෙන මිස්ටත් ටටා කියලා අපි ආපහු ආවා ඉස්කෝලෙට.  ටෙලා ඉස්කෝලෙ වත්තේ කෙහෙල් කැන් හොරෙන් කපලා දෙන කඩෙන් ලුණු කැට ටිකකුත් ඉල්ලගෙන පිට්ටනිය ගාව ගල උඩ වාඩි වෙලා අඹ ගලේ ගහලා පලා අනුභව කලෙමු. අපි අඹ කනවා දෑකලා ගෑණු ලමයින්ටත් අඹ ඕනි උණා. ඒ ගමන් එයාලටත් එක්ක අඹ කඩන්න උණා.

කරුමෙට අඹ කැඩුවේ අපි උණාට ඒවා නෙළා ගත්තේ වෙන උං.

Tuesday, April 11, 2017

සයිකලේ

                        මේ අවුරුදු කටේ සැපක් ගන්න ඕනි කියලා උදේ ඉඳන් ඔලුවේ හිට පොරවාන කුදහ ගත්තා. හම්මා මෙවන් සැපක්.පුවක් මලින් පවන් සැලෙයි. හපොයි. අම්මා මේක දැකලා බනින්න පටන් ගත්තනේ. "මේ හද්ද අවුරුදු දවසේවත් මූසලකමට ඉන්නේ නැතුව කාමරේ අස් කරගෙන රෙදි ටික හෝද ගන්නවකෝ." ෂික් අප්පා. අපි වගේ තරුණ පරපුරට මීට වඩා නිදා ගන්න කාලේ දෙන්න ඕනි. ආයේ තව අවුරුදු දෙක තුනකින් මෙව්වා කොරන්න පුලුවනෑ. රටේ ලෝකේ හැම මනුස්සයම උදේ නැගිටින්න කම්මැලි කළා නම් දවසේ වැඩ පටන් ගන්නේ උදේ 10ට විතර. එහෙම සුන්දර දවසක් එනකම් මං සිහින මවනවා.

"කුණුහබ්බ නොකියා කාමරේ අස් කරගෙන රෙදි ටික හෝද ගන්නවා." අය්යාත් ඒ ගමන් ගේම කෝල් කරනවා. පව් අප්පා මං. වර්තමාන සමාජයේ නූතන ව්‍යුත්පන්න තාර්කික සමාජ රටාව අපිව මේ තත්වෙට දාල තියෙන්නේ. මගේ පවුර්සේ තඹේට ගිහිල්ල. ඊලඟ වතාවෙ එන්න ඉන්නේ පියා කියලා දන්න හින්දා කෝකටත් සූදානම් සරීරේ කියලා බැස්සා ඇ‍ඳෙන් බිමට.
          හුටා කෝ සරම? සරම නෑ. ආහ් අවුලක් නෑ. සරමක් නෙවේ ෂෝටක් ගහගෙන නිදාගෙන තියේන්නේ. සරං ඇඳන් නිදා ගන්න අයට ඉතාමත් බැරෑරුම් වැඩ වලට මුහුණ දෙන්න වෙනවා කියලා සෙබා කියලා තිබ්බා. ඌ දවසක් සරම ඇඳන් නිදාගෙන පහුවදා උදේ කුස්සියට ගිහිල්ලා වතුර එකක් බොන්න. උගේ ගෙදර ඉන්න සර්වන්ට් මූව දැකලා මරෝ තියලා කෑ ගහන්න පටන් අරන්. මූත් ඒ ගමන කෑ ගහන්න පටන් අරන්. මූ හිතලා තියෙන්නේ මූව අරන් යන්න වලහැඩියෙක් එනවා කියලා. පස්සේ මුන්ගේ තාත්තා ඇවිල්ලා මූට කණට එකක් ගහලා වත්තේ තිබ්බ ගැරඬි හැවක් ඇඳගන්න කියලා දීලා. එතකොටයි දන්නේ මූ නිදා ගත්ත ටිකට සරම තුෂ්නිම්භූත වෙලා කියලා. මූ කුස්සියට ඇවිල්ලා තියෙන්නේ සරම නැතුව. කෝම හරි සර්වන්ට් ට ලොකු තොවිලයක් නටලා කහ නූලක් දාලා බාරයක් වෙන්නත් සිද්ද උනා.  එදා ඉඳන් අපේ සේරම උන් සූදානම් සරීරේ කියලා ෂෝටක් ගහගෙන නිදා ගන්නේ. නැත්තම් පලිබෝධනාශක අනතුරු සහිතයිනෙහ්.

                          කෝමහරි ගත්තා බෙඩ් ෂීට් එකයි, සරමයි, කොට්ට උරෙයි, පොරවන රෙද්දයි. දැන් මේ ටික හෝදන්න එපැයි. මොකා හොයා ගත්තද දන්නේ නෑ මේ හෝදන රෙදි. තාස්සනේ මෙච්චර දියුණු වෙලා රෙද්දක් නොහෝදා අඳින්න මුන්ට බැරි උනානේ. මං ඒ ටික කෙළින්ම අරන් ගියා ගමේ ඇළට. හොඳ වෙලාවට ඇළ බදු ගත්තු උං නෑ අද. බොලාට කියන්න මචංලා ගමේ ඉන්නවා පවුලක්. පවුලක් කිව්වට එකක් නෙවේ. ඒ පවුලේ පවුල් දෙක තුනක් තියනවා. දවසේ පැය විසි හතරේ කොයි වෙලාවේ බැලුවත් මේ පවුලෙන් එකෙක් හරි ඉන්නව ඇළේ. අඩුම ගානේ ලොකු ඩයල් එකකට එන්න බැරි උනොත් ගමේ වෙන කා අතේ හරි පොඩි එකෙක් හරි එවනවා. මුං ගිය ආත්මේ දිය කාවොද කොහෙද. මුං අවුරුද්දට වැඩ අල්ලන්නෙත් මේ ඇළේ තියන පීල්ලෙන්. පවුලේ සෙට් එකම ඇවිල්ලා නැකතට පීල්ලට ඔලුව අල්ලනවා. ඒක තමා උන්ගේ වැඩ ඇල්ලිල්ල. ආහාර අනුභවය අනම් මනම් සේරම කොරන්නේ පීල්ලේ ඉඳගෙන. එච්චරකට මුං පීල්ලට ලව්. ගමේ උං කියන්නේ මුං නැති පීල්ල, නිකම් හීරළු නරියෙක් විය සිදුරින් මූණ බලනවා වගේ උදා වෙන දෙයක් කියලා.
    කෝම හරි මං යනකොට මුං නෑ. එදා වෙලාවට කොහේදෝ යන වල් නරියෙක් හක්කලන් කොරලා විය සිදුරක් හොයාන ඒකෙන් මූණ බලලා. මං ගිහින් එබුවා බෙඩ් ෂීට් එකයි, සරමයි පොරවන රෙද්දයි ඇළට. අම්මටහුඩු.  එක පාරට පහළ ඇළේ යසට ආතල් එකේ පීන පීන වල කජ්ජ ගගහ හිටපු මාළු වගයක් දිවත් දොට්ට දාගේන වතුර උඩ පාවෙන්න ගත්තා. වතුරත් නිකම් අවපාට වෙලා වගේ. නිකම් තෙල් වගේ ජාතියක් වතුර උඩ පාවෙන්න ගත්තා. එක පාරටම ඈළෙන් පහල හරියේ නනා හිටපු ගම්මුසෙට් එකක් නිකං කුෂ්ට දැම්මා වගේ සරුවාංගෙම කස කසාගොඩට ආවා. මුංට මක් වෙලාද කියලා හිත හිත මං රෙදි අපුල්ලන්නවා දැං. එතකොටම එතනින් ආපු කැරකොප්පුව ගාව සුමනේ අහනවා
"ආහ් රෙදි හෝදනවා වගේ" කියලා.
"නෑ මං මේ කැකුණ තලනවා. එතකොට ‍තෝ වගේ උංට රජ මඟුල්ලුනේ." මං කිව්වා. ඇයි යකෝ මොළේ කලඳක් තියන ඕනි රට හරකෙක්ට තේරෙනවනේ රෙදි ටිකත් දාගේන සබනුත් ගගා මං මේකේ අහවල් එකක් කොරන්නයැ. ඊට පස්සේ ආවා ගෙම්බා පැන්න ගලේ අප්පුහාමි.
"ආහ් රෙදි අපුල්ලනවා වගේ?" මූත් අහපි.
"නෑ මං මේ ඇළ මැද්දෑවේ රෙදි ටික තියාගෙන මාළු බානවා. තොටත් ඕනිද? පරාටියෝ නම් ලාබයි, හැබැයි ගල් හුඩ්ඩෝ නම් ටිකක් ගණන්." ඒ ගමන් ඌත් යන්න ගියා.

       අම්මපා මේ ගමේ උන් දැක දැකත් අහනවනේ. කේලාං කියන්න රුසියෝ. මං මගේ වණ්ඩිය, නැත්තම් මගේ පුස් සයිකලේ ටිකක් හය්යෙන් පැද්දත් ඒ නියුස් එක රූං ගාල ගිහිං තියනවා අම්මගේ කණේ. එක පාරක් මං ආතල් එකේ සයිකලේ පැදගෙන නිකම් මිටින් හල තලගොයෙක් වගේ පාරේ යනවා. එක පාරටම ටිකක් වයසක පහේ ඩයල් එකක් ( වයසක නම් ඌ පහේ වෙන්නේ කෝමද කියන එක මටත් සෑහෙන අවුලක්) ඉස්සරහින් පයින් යනවා. වැඩේ කියන්නේ බොලල්ලා මේ ගස් ගෝතයා අයින් වෙලා නෙවේ පයින් යන්නේ. මූ නිකම් පුලුවන්නම් ඇවිත් හප්පපිය ඩෝ වගේ යන්නේ. එක්කෝ මූට හතලිස් ඇඳිරිය, නැත්තම් අන්දකයිප්පු කැවිලා. මොකද හොඳ සිහියෙන් ඉන්න සීය කෙනෙක් මෙහෙම පාරේ යන්නේ නෑ.
            මං මගේ බැල් එක ගැහුවා. බැල් එක කිව්වට මේක නිකම් අර ඉස්කෝල වල තියන ජාතියේ එකක්. ඒ කිව්වේ යකඩ කෑල්ලක් හැන්ඩ්ල් එකේ එල්ලගෙන මං යන්නේ. බෙල් එක ගහන්න ඕනි උනාම ඕකට තව යකඩ පොල්ලකින් තඩි බෑවම හරි. මෙහේ මං බෙල් එක ගහනකොට මාරපන පැත්තේ වැව් වල ඉන්න කොක්කුත් ඉගිල්ලෙනවා. එච්චරකට සවුන්ඩ් සිස්ටම් එක. නිකම් කම්මලේ බල්ලට කොස් කොටන කඩුවෙන් කෙ‍ටුවා වගේ.මේක ඔය බටහිර ජාතීන්ගේ එව්වා වගේ නෙවේ. ආයේ කෙලින්ම මැනුවල්. දාහෙන් සම්පතයි, තුනෙන් දෙකයි. මේක අර හේන් වල තියන ටකය කියල භාණ්ඩේ ඊලඟ වර්ෂන් එක. අපි අපේ දේ අගයන්න ඕනි.

අවුට් ගියා වගේ.

 දැන් මේකයි වෙන්නේ. අර නාකි ඩයල් එක නිකම් පාර සීයට පහේ බද්දට අරගෙන ඇස්සට දත නියෝගෙන පාර පුරා කරක් ගගහා ඇවිදිනවා. මට යන්න ඉඩක් නෑ. මං මගේ ටකේ අරන් ගැහුවා. ම් හ්ම්. වැඩක් නෑ. මෑන්ස්ගේ කණේ වංගු විසි එකකුයි හන්දි පහළවයි තියනවලු. මං ආයේ ගැහුවා ටකේ. ඒ සද්දේ ඇහිලා ගෙවල් වල ඇතුලේ උය උය ඉඳපු මිනිස්සු පවා එළියට බැහැලා බලනවා. සමහර එවුන් ගෙවල් වල තියන පරණ බෝතල්, යකඩ කෑලි එහෙමත් අරන් පාර අයිනට එනවා. උං හිතල තියෙන්නේ මං බෝතල් පත්තර කාරයෙක් කියලා. ලැජ්ජාව කණ් හැන්දෙන් එකයි. නොදකින්. මේ නාකි විසේ ගෙටත් උසේ කියන්නේ කට කහනවට නෙවේ කියලා තේරුනේ දැන් තමා. මං ආයේ ටිකක් ලඟට ගිහිල්ල ගැහුවා බෙල් එක. එතකොට පාර අයිනේ හිටපු එකෙක් කියනවා,
 " මල්ලි ඔය ඝන්ඨාරේ ගෙදර ගිහින් ගහ ගනින්කෝ බං මට යෝගා කොරන්න බැරි වෙනවා නෙව." කියලා. යකෝ මුන්ට මේ හද්ද දවල් ගෙවල් වලට වෙලා යෝගාට කොරන්න. මොන ජීවිතද බං මේවා. ඌට මං හොඳ හබ්බ දෙකක් කියලා යෝගගෙ ආච්චිටත් කියලා තවම යනවා.

         අර නාකියව තවම ඕවර් ටේක් කොර ගන්න බෑ. ඉඳු, දෙන්නම් බැටේ කියලා ඕනි ජිප්පුවක් පනම් අටයි කියලා දැම්ම වමෙන් ඉස්සර කරලා ඉදිරියට. මූත් මං එනකම්ම ඉඳලා වගේ පැන්නනේ බයිසිකලේ ඉස්සරහට. හපොයි. මාත් වැඩ දන්න හින්දා බයික්කොලේ අයිනට කපලා හැන්ඩ්ල් එක පැත්තකට හරවලා දත කට පූට්‍ටු කොරගෙන බ්‍රේක් එක තද කොරලා බිමට නැවිලා රිම් එකත් හිර කොරලා යන්තම් බයිසිකලේ නතර කර ගත්තා. බැලින්නම් මුකුත් වෙලා නෑ. මගේ බයිසිකලේ වම් හැන්ඩ්ල් එක අර සීයගේ දකුණු අතෙ වැලමිටේ යන්තම් ගෑවිලා පොඩ්ඩක් සීරිලා.

                           යකෝ මේ බුවා එච්චර වෙලා යසට ඉඳලා, මං දිහා බලලා මට සිරික්කියකුත් දාලා එක පාරට උඩ පැනලා දිවත් දොට්ට දාගෙන ඔලුව පහලට කරගෙන බිම පත බෑවුනා කියපංකෝ. එහෙම ඉඳගෙන ල‍තෝනි දෙන්න පටන් ගත්තා. අම්ම ගහයිනේ බැට් එකෙන්.

  "බුදු අම්මෝ, මට ඉන්න බැරියෝ, මූ මාව හැප්පුවෝ, පහළ කඩේ සියාතුවෝ, අල්ලපු ගමේ මරු සිරෝ, අවටියන්ගල සුමනෝ, කොරමීයන්හේනේ සිරික්කියෝ, මූ මාව හැප්පුවෝ. මා මළෝ." විලි සංහාරයයි. යකෝ මේ පුත්තලම් බූරු තඩිය හැප්පුණු පාරට බයිසිකලේ හැන්ඩ්ල් එක දෙකට නැවුණා. ඒ ගමන් මාත් කෑ ගහන්න ගත්තා

 " හය්යෝ වැඩක් නැ‍තෝ, මං මැරෙනවෝ. මූ මගේ බයිසිකලේ කැඩුවෝ. කිංචිගුණේ සෙබෝ, නල්ලතන්නියේ ටෙලෝ, ගලෙන් බිඳුණුවැවේ කේප්පයෝ, මෙන්න මූ මගෙ වාහනේ කැඩුවෝ." සීයත් අත ඇරියේ නෑ. මූත් වොලියුම් වැඩි කරලා ල‍තෝනි දෙනවා. මූ මං හිතන්නේ කෑ ගහන්නේ උගුරෙන් නෙවේ. උගුරට පහළින් තියන උණ්ඩුක පුච්ඡේ හරියෙන් තමා මූ කෑ ගහන්නේ. ඌගේ සද්දේ ඒ තරමට තීව්‍රයි, තාරතාවයි, ව්‍යුත්පන්නයි, අති ධ්වනිතයි. දැන් දෙන්නා එක්කම මරෝ තියලා කෑ ගහනවා. ඒත් කරුමෙට එකෙක්වත් ලඟ පාතකට එන්නේ නෑ බලන්න. මෙලෝ බලු කපුටෙක් නෑ අහල පහළක. නොදකින් කෑ ගැහුවටත් පාඩුයි. අර සීයත් නිකම් දැන් හොට තැලිච්ච පෙදරේරුවෙක් වගේ ඉන්නවා.

          අර සයිටම් එකේ ඩයල් එකක් තමන්ටම වෙඩි තියා ගත්තා වගේ. තමන්ම උඩ පැනලා පත බෑවිලා දැන් නහින්න හදනවා.

"කොලුවෝ, මොකෙක්වත් ආවේ නෑ නෙහ්?" මූ නිකම් කින්ඩි ටැප් එකට මගෙන් අහනව.
" හරි ඉතින් සීයත් තප්පුලෑවට මොකෙක්වත් ආවේ නෑනේ. හිහ්. " මත් නිකම් කියලා දැම්මා.
"සීයා දැන් රිටයර් වෙන්න, වෙලා ගෙදර යන්න, ගිහින් මායියා දෙන දෙයක් කාලා පිනක් දහමක් කරගෙන, දරු මුණුබුරෙක් බලාගෙන ඉන්න අප්පා." ඒ පාර සීයට කේන්ති ගියා. ඇස් රතු උණා, තට්ටය දිලිසුණ, ‍රැවුල කෙලින් උනා.
 "සීයා? කවුද බොල සීයා? මං තමා මේ ගමේ ඉන්න අය්යා." අම්මටසිරි. ඔලුව වැදිච්ච පාර වයර් සෝට් වෙලාද? මේ සූර පප්පා දෙබස් කියවන්නේ. ඊලඟට මූ ඇහුවා,
"‍තෝ දන්නවද මං කවුද කියලා?" හුටා. මෑන්ස්ට සැරටම අවුල් ගිහින් වගේ. ඔලුව වැදිච්ච පාර මූට තමන් කවුද කියලත් අමතක වෙලා.
 "සීයට ඒ පැහිච්චකම් වැඩක් නෑනේ. සීය දන්නවද මං කවුද කියලා?" මං ඇහුවා.
 "නෑනේ, හෑබෑට මල්ලි උඹ කවුද?" යකෝ පොළව පළාගෙන යන්න හිතෙනවනේ. මගේ සීයගේ වයසේ උං මට මල්ලි කියනකොට. මූට මේ පුත්තලම් බූරුවෝ හත අටක වයසක් ඇති අඩුම උනොත්. මං මේ තවම බටර් විස්කෝතුව කිරි එකේ පොඟවලා කන එකා.
"අම්මටසිරි අයියේ, මං දැනන් හිටියේ නෑනේ අපේ ගමට අලුත් අයියෙක් සැරෙන්ඩර් වෙලා කියලා. හැබෑට අයිය දන්නේ නැද්ද මං කවුද කියලා?" මං ඇහැව්වා.
" නෑ මචං නෑ, දැකලා පුරුදු නෑ." දැකලා පුරුදු වෙන්නේ කොහොමද? මූට හතලිස් නෙවේ හැට ඇඳිරිය වෙන්න ඕනි. කලු කෙස් ගහක් නෑ ඔලුවේ. ඒත් දෙන කයිය නම් පොල්.
"අඩේ, වැඩක් නෑ එහෙනම්, අයියට අපේ ගෙවල් එහෙම මතක නෑ? අම්ම තාත්තා එහෙම මීටර් නැද්ද?"

යකෝ මාව නොදන්න එක හිවලෙක් ඉන්නවද මේ අහල ගම් හතේ? මගේ නම ඇහුණත් බඩ යන හින්දා සාමාන්‍යෙන්  පිට ගම් වල උන් පවා මං ගැන දන්නවා. මේ කෙසෙල් මයිනෙක් කියනවනේ මාව දන්නෙ නෑ කියලා
" නෑ නෑ මලයා, මට උඹව නම් මීටර් නෑමයි." නොදකින්
"ආහ් එහෙනම් එලකිරි අයියා, මං යනවා. අයිය දන්නෙත් නෑනේ මම කවුද කියලා, හොයලා වැඩකුත් නෑ. පරිස්සමින් යන්න ඈහ්. ඈහැ කන පේන්නෙත් නැති හින්දා හොයන්නත් අමාරු වෙයි. හොයන්නත් එපා. වැඩක් නෑනේ. හාගල බණ්ඩාර දෙය්යන්ගේ පිහිටයි ඈහ්" කියලා මං ටාර් ගාලා මගෙ බයිසිකලේ හරෝ ගෙන ආවා. නැත්තම් ඒ ගෝතයා මගේ ගම කනවා. හැබැයි කරුමෙට ඔය රටේ තොටේ ඉන්න පරපීඩාකාමි ගැහැණු මං ගෙදර එන්නත් කලින් සංගදිය අම්මගෙ කණේ තියලා.මට බයිසිකලේ යෑම මාසෙකට විතර තහනම් උණා. දවසක් මං හොරෙන් බයිසිකලේ ගන්න ගැරේජ් එක පැත්තට යනකොට එක පාරට මොකෙක්දෝ එකෙක් වතුර බාදියක් හැලුවා ඔලුවට.
 "‍තෝ මොකක්ද යකෝ මෙච්චර වෙලා රෙදි අතුල්ල අතුල්ල කොරන්නේ? ‍තෝ නම් තෑනක ගියොත් ඉවරයි. ඉක්මනට ඔය ටික හෝදලා වර ගෙදර යන්න, අම්ම බය වෙලා" රෙදි කොහෙද යකෝ ගැරෙජ් එකේ.

"නෑ අයියේ මේ බයිසිකලේ..." ලබ්බේ බයිසිකල් කොහෙද බං පීල්ලේ? ඉක්මනට ඔය අමුඩ ලේන්සු ටික හෝදලා දාල මෙහෙ වර යන්න, අරෙහෙ වැඩ තියනවා. " නයි කයිලු අල බොන්ඩා සාම්බාරුත් එක්ක. මම මේ පීල්ලේ රෙදි හෝදන්න ආපු ගමන්නේ. ඒ පාර මනෝ පාරක් ගහලා.
කෝමහරි ඒ වෙනකොට අර දිය බරි සෙට් එක ඇවිල්ල තිබ්බ දොළට. උං ඇවිල්ලා පීල්ල සුද්ද කරනවා අර අපි ගෙවල් සුද්ද කරනවා වගේ. මුන් නම් නාලාම තමා දවසක දිය වෙන්නේ කියලා හිතාගෙන මං දහ හත්වෙනි වතාවටත් මගේ රෙදි වල සබන් ගෑවා. කුණු වැඩිකමකට නෙවේ. ආයේ ඉතින් මෙව්වා හෝදන්නේ ඊලඟ අවුරුද්දෙනේ. ඒකයි.
 එතකොටයි මතක් උනේ අර අපේ ගමේ අයියා, උන්දැ ටික දොහකට කලින් හන්දියේ ජිම් සෝමෙගේ මිනිහා එක්ක පැනලා ගියා.  හැපී හැපෙන පැණි හඳක් වේවා අයියා.
 ආපහු එද්දි ආරංචි උණා පහළ ඇළෙන් වතුර ගත්තු සේරෝම වගාවන් මැරිල ගිහින් කියලා.. ආයේ බේතකට ගන්න කොලයක්, මුළක්, දල්ලක්වත් ඉතුරු නැහැල්ලු. ගහේ පංචාංගෙම ඉවරයිලු.

 රටට මොනා වීගෙන එනවද මංදා...

Monday, April 10, 2017

ප්‍රොජෙට්ටූ

වැලේ වැල් නැති ජීවිතේ මොකටද අප්පා කියලා හිතාගෙන මස්තෙ ගහලා ඇඳක් උඩ පත බෑවිලා ඉද්දි මතක් උනා තව පරණ සිද්දියක්.

                  ඔය උපෙල කරන අය දන්නවා ඇති උපෙල කරනකොට කොරන්න තියනවා හද්දා ගොබ්බ වැඩක්. ඒ තමා වියාපෘතිය නොහොත් ප්‍රොජෙට්‍ටුව. මේක කේවල සහ කණ්ඩායම් විදියට වියාපෘති දෙකක් කොරන්න ඕනි. උපෙල ලේසී. මේ හිචක්කුව තමා එපා වෙන්නේ. ඕකේ ඇත්තම කිව්වොත් බොලල්ල එකෙක්වත් කොරන් නෑ ඔය කේවල එක හරියට. සේරෝම කරන්නේ මොකෙක්ගේ හරි කරපු එකක් කොපි කරලා දෙනවා. හරියට මම මගේ නොවන මගේම වියාපෘතියක් කෙරුවා වගේ. කේවල එකට එක එක උං එක එක එව්වා කරනවා.
                        අපේ ගයා කොලේ උගේ ගෙදර ටැංකියේ ටැංකි සුද්දගේ ගෑනිගේ එක කොපි කරලා ගෙනිහින් දුන්න එක. ඒකෙ තිබ්බේ "ගල් යුගයේ මිනිසා සහ සරීර කෘත්‍ය" ගැන. මටත් ඒක හරියට තේරුණේ නෑ. සෙබා කලේ "හාල් ගැරඬින්ගේ උපත සහ සම්භවය" ගැන. ඒකෙ ඌ ගැරඬි හැවක් එහෙම හොයලා අලෝලා තිබ්බා. ඒක පොළොං තෙලිස්සෙක්ගෙන් ණයට ගත්තු ඉමිටේශන් එකක්ලු.ප්‍රොජෙට්‍ටුව බලපු සර් කිව්වේ. අරූ මූව අන්දලා. මට කොරන්න එකක් තිබ්බේ නෑ. මාත් මොකක් හරි කරන්න එපැයි.
                   දෙයියනේ කියලා හිතලා හිතලා හොයා ගත්තා මාතෘකාවක්. "මඩ පුවක් සහ ආනමාලු කැන" කෙලින්ම අරන් ගියා සර් ගාවට. සර් ඒක දිහා බලලා ‍රැවුල කැසුවා, මුහුණ කැසුවා, නළල කැසුවා, බෙල්ල කැසුවා.
" සර් මම කසන්නද?" මං ඇහුවා. ඇයි යකෝ සර්ට වෙන වැඩ නෑනේ සරුවාංගෙම කසන්න ගියාම. සර් මගේ කණට කරලා ප්‍රණීත භාසාවෙන් ඇහුවා.
" බොල වල් වානර කොලුවෝ, තොට හාල් ය?" කියලා. මේක මාර වැඩක්නේ. අනිත් උන්ට ඕනි බලු කුණුහබ්බයක් ලියාගෙන එන්න හොඳයි.මගේ එක තමා අවුල.
" ඒක නම් දන් නෑ සර්. උදේට කෑවේ නම් තැලිච්ච මසල වඩයක්" මම කිව්වා.
"යකෝ මේකට ‍තෝ මොනාද ලියන්නේ? බලපං මේකේ කිසි ගැලපීමක් නෑනේ"  සර් ආයේ බයිලාවක් කතා කරනවා. අනිත් උන් කරන ඒවයේ කියලා ගැලපීමක් තියේයැ. "හරි දැන් ‍තෝ මේකට මොනාද ලියන්නේ?" සර් අහපි.
"හපොයි සර් ලියන්න දේවල්ද නැත්තේ? මම ලියනවා පුවක් ගෙඩියේ පරාගණයේ සිට, ඒ ගෙඩිය පැහිලා ඉදිලා බර වෙලා අතූ වෙලා, ඒවා බිමට වැටිලා, ඊට පස්සේ ඒව මිනිස්සු අහුලලා පුවක් මඩ කරලා වෙලඳපළට එන තැන තැන දක්වා."  සර් නිකම් දැම්ම බැල්මක් "උඹ බීලද වගේ.
"එතකොට මේ ආනමාලු කතාව?" "ආ ඒක මේ මඩපුවක් කියලා විතරක් දාන්න බැරි හින්දා දැම්මේ.නිකම් සාහිත්‍යමය අරුතක් එනවා කියලා හිතෙනවනේ සර් ඒක දැම්මාම. ඕනි නම් අයින් කරන්නම්." "නෑ නෑ.‍තෝ මේක කරන්න ඕනි නැ. ‍තෝ ගිහින් අන්නහරෙට වෙලා හි‍ටු.  ‍තෝ මේක කොරගෙන ආවොත් මං ‍තෝව කපනවා ගිරෙන්. දැන් පල."

                                 සර්ටත් කේන්ති යනවනේ. පස්සේ මට සෙට් උණා වර්තමාන ගීත ශේත්‍රය සහ එහි නියමුවෝ කියල ප්‍රොජෙට්‍ටුවක්. අඩේ එලනේ කියලා මං ඒක කොරන්න පටන් ගත්තා. ඒකෙ තිබ්බා පොඩි සින්දු ලිස්ට් එකක්. මං ඉතින් දවසක උදේ වරුවේ ඒ ටික ඇහුවා. හපූ.. යකෝ කැලේ ඉන්න තලගොයි තප්පුලනවා මීට වඩා හොඳට. දොර යසට රූම් එකේ තියෙද්දි වහලේ උළු ගලෝලා එලියට යන්න හිතෙනවා අප්පා. මුන් සින්දු කියනවා නෙවේ, විලාප තියනවා. සමහරුන්ට වැලලෙන්න ඕනිලු, සමහරු මල් පූජා කරනවලු, සමහරු පොලවේ පස් කනවලු (කටින්ද දන්නෙ නෑ), සමහරු කුඹුරු හාන්නම්ලු,සමහරු මතක වස්ත්‍රත් පූජා කරන්නම්ලු, තව සමහර උංට මොලේ උණ චාර්ජ් වෙලාලු.

       "නොදකින්. විලිම විලි සංහාරයයි. බලපං තොපේ උංගෙන් රටට ගිය කල" කියල මේක අහං හිටිය එහා ගෙදර සීයා ටැබ් එකෙන් චැට් කරන ගමන් කියනවා. සීයලගේ කාලේ මෙව්ව ලෑලේ. සීයට ආච්චි එක්ක එනකොට සීයට දහනවය ලු. ආච්චිට දහතුන ලු. හිහ්. බාලාපරාධ. "ඒ කාලේ විලි සංහාර තිබ්බේ නැද්ද සීයේ"කියල අහනකොට සීයා සරම කැහැපට ගහගෙන ගියා ගේ ඇතුළට. කොහොමින් කොහොම හරි කේවල මඟුල ඉවර කරලා භාර දුන්නා. ඊට පස්සේ කණ්ඩායම් ප්‍රොජෙට්‍ටුව. මේක ටිකක් ඇඟ කිලිපොලා යන සුළුයි. මේකෙදි අපිට භාර උණේ මැද මිදුලට පිඩලි අල්ලලා පොකුණ වටේ වැටක් ගහන්න.
                    ඇත්තම කිව්වොත් පිඩලි අල්ලන එකේ පට්ට වාසි තියනවා. දැන් ඔය සෙබා, එතකොට මෝරා වගේ උන් කවදාවත් ගෙවල් වලින් එනකොට උදේට කාලා එන්නේ නෑ. මොකද උන්ට කන්න දීල පිරිමහන්න බෑ. ඉතින් මුන් නිරාහාරව ඇවිල්ල දිවත් දොට්ට දාගේන උදේ ‍රැස්වීමේ දපනේ දාලා පත බෑවිල ඉන්න කොට දෙන්න කෑමක් විදියට පිඩලි ගන්න පුළුවන්. ඒක සෑහෙන දුර දිග බලලා ගත්තු තීරණයක් වෙන්න ඕනි. හැබැයි පොඩි අවුලක්. පිඩලි ගන්න තැනක් නෑ. ප්‍රොජෙට්‍ටුවේ පිඩලි සෙවීම සහ ප්‍රවාහනය බාර දීල තිබ්බේ මටයි කොට්ටොරුවටයි. කොට්ටෝරුවා ගැනත් සෑහෙන කතා තියේ. දැන් පිඩලි කොහෙන් හොයම්දෝ කියල අපි දෙන්නා හවස් වෙලා ගියා ඉස්කෝලේ වටේ රවුමක්. ඉස්කෝලේ පිටිපස්සේ තියනවා කරණවෑමියෙක්ගේ ගෙයක්. කරණවෑමියා කියන්නේ කොයි ජාතියේ කුරුල්ලෙක්ද කියලා මං නම් දන් නෑ. දන්න කෙනෙක්ගෙන් අහ ගත්තොත් මටත් කියන්න. ඒ කරණවෑමියගේ ඉඩමට එහායින් තියනවා තව ඉඩමක්. ඒකේ නම් බොලේ මිදුලට පිඩලි අල්ලලා තියනවා. ආයෙ කොහෙන්වත් ගේන්න, ලොරි හොයන්න ඕනි නෑ, කෙලින්ම බඩු සුවර්.
                        හැබැයි අයිතිකාරයා ලෝක කුණා. ජිල්මා‍ටුවක් නැතිව වැඩේ කර ගන්න බෑ. මායි කොට්ටෝරුවයි මේ ගෙදර ඩයල් එකේ දින චරියාව නිරීක්ශනය කලා. මචංලා මූ උදේම ගෙදරින් යනවා. හවස ආපහු එනවා. ඒ කියන්නේ දවල්ට කවුරුත් නෑ ගෙදර. හැබැයි මේ වල් හෝතඹු පැටියා සති අන්තේ ගෙදර. ඉතින් පිඩලි ගන්නවා නම් ඉස්කෝලේ වෙලාවක තමා. ඔයාලා හිතනවා ඇති අපි මේ සොරකමක් ප්ලෑන් කරනවා කියලා. පිස්සුද. අපි මේ පිඩලි අරගෙන සංවර්ධනය කරලා නැවත බාර දෙන්නයි හදන්නේ. නමුත් අවාසනාවට රෝස මලත් පර උනා වගේ අපි ‍ෆ්‍රී ඩිලිවරි කරන් නෑ. අරූට කෑමති නම් අපි සංවර්ධනය කලාම ඇවිල්ලා අරං යන්න පුලුවන්. අපි ඉතින් එහෙම කතා වෙලා පූර්ණ සද් භාවයෙන් වැඩේට බැස්සා. සති අන්තේ බැරි හින්දා අපි සතියේ දවසක් ‍තෝර ගත්තා. උදලු දෙක තුනක් එහෙම කෘසිකර්ම ඒකකෙන් ගන්න ගියා. උදලු ඉල්ලන්න ගියාම කෘසි මිස් අහපි,
  "තමුසෙලාට මක්කටෙයි උදලු" කියල්ලා.ඉඳලා ඉඳලා මිසුත් අත ඇරියා කලාබර හේරෙක්. නොදකිං. මිස් දකුණේලු.
" නෑ මිස් මේ පන්තියේ එකෙක්ට කක්කල් කෑස්ස ඔක්කාරෙට ඇවිත්. ඒකටනේ මිස් මේ" මං කිව්වා "ඉතින් ඒකට මොකටද ලමයා උදැල්ලක්" 
 "මෙහෙමනේ මිස්, උදැල්ලේ මිට ගලෝලා තලේ වෙනම අරගෙන නැකතක් බලලා ලෙඩාගේ ඔලුවට පත බෑවම ඔක්කාරේ කොහෙන් ගියාද නෑ." සෙබා කිව්වා
" පුතා සයිටම් ද?" මිස් අහපි. අපිත් නිකම් රුවිතෙට හිනාවක් දාලා එතනින් කැපුණා. ඊට පස්සේ ගියා අදාල තැනට. ක‍ටු කම්බියක් ගහලා තියනවා. මේකෙන් පැනලා තමා යන්න වෙනේ.
"‍තෝ ඔහොම ඉඳු මං උස්සන්නම්" කියලා මෝරා ආවා ඉදිරියට.
"මොකක්ද බං උඹ උස්සන්නේ?" මටත් කට තියන් ඉන්න බෑනේ.
"උස්සන්නෙද? උස්සන්නේ ....." හිස්තැනට ඔබ දන්නා ප්‍රණීත වදන් කිහිපයක් ඔබා ගන්න. මූ උස්සන්න ඇවිල්ලා තියේන්නේ කම්බිය. ඒ කිව්වේ කම්බිය විතරයි. එතකොට මට එහා පැත්තට පනින්න ලේසිනේ. කොට ඩයල් එකක් හිටියා පන්තියේ. ඌව දැම්ම ඔත්තු බලන්න. අපි කරන හැම වලත්ත වැඩේම ඔත්තු බලන්නේ මූ. ඌට එතනින් එහා වෙන වැඩක් කරන්න බෑ. මෝර උස්සන් හිටපු කම්බියෙන් රිංගලා මං පැන්න එහා පැත්තට. ඊට පස්සේ පැන්නේ සෙබා. මූ බාගයක් රිංගලා එකපාරට "ඌය්යා" කියලා කෑගහනවා.
 " ඇයි බං, මොකෝ උනේ?" මං ඇහුවා.
"අඩේ කම්බියට සීරුණානේ බං."
"අලේ සෝක්නේ, සිදුනද?" මං ඇහුවා. නොදෝකිං මුං වගේ හොට තැලිච්ච ගිබන්ලට ක‍ටු කම්බියකින් පැනගන්න බෑනේ.
"මේ ‍තෝ ගාව රෙද්දක් නැද්ද මේක වෙලා ගන්න." මූ අහපි මෝරගේන්. මෝරා ඒ පාර ඌගේ කලිසම ගලවන්න ගත්තා.
" හාපෝ ඊ ලැජ්ජ නැද්ද මයිනො. කෙල්ලොත් ඉන්නවා. තොට අමුවා කැවිලද, වේලිච්චා කැවිලද?" ටෙලා ගිහින් මෝරාට ටොක්කක් ඇනපි. යසයි ඕකට. අපි මේ ගූගල් එකෙන් අහවල් එව්වා සර්ච් කරලා ලෝකෙන් පළවෙනියා උනාට තාවම සභ්‍යත්වය ඉහවහා ගිය ජාතියක් හරිය.

 "‍තෝ මොකටද පොලොස් කොට්ටෝරුවෝ කලිසම ගලවන්නේ?" මං අහපි මෝරාගෙන්.
"ඇයි ඉතින් ඌට රෙද්දක්නේ ඕනි කිව්වේ. මං මගේ අමුඩ ලේන්සුවෙන් කෑල්ලක් ඉරලා දෙන්න හෑදුවේ." මෝරා සංවර විදියට විනීතව කිව්වා. අන්න දැක්කද අපේ යාලුවෝ. හරිය.
 "නෑ නෑ, තොගෙ හම්පඩ අමුඩ ලේන්සුවෙන් මේක වෙලුවොත් මට වැලිගම්පිටියේ යන්න වෙනවා. "ඒ උඹ ගාව එහෙම තියනවද බං එකක්?" සෙබා මගෙන් අහපි. මං ඉතින් මං ගාව තිබ්බ හො‍ටු ලේන්සුව දුන්නා ඌට.
" අඩේ මේක ගන්නකොට මොන පාටද බං?" මෝරා අහපි.
 "ඕක ගන්නකොට කොහොම හරි ජනාධිපති ජේ.ආර්. මචං. එතකොට සුදු පාට වගේ මතකයි."
 "ආහ් එල. උඹ මේක අන්තිමට හේදුවේ කොයි කාලෙද බං?" මූ අහපි. හාපූ. මේ පරයින්ට ලේන්සුවක් දීල අහ ගන්න ටික. අනේ ‍තෝ ඔය තුවාලේ වෙලා ගන්න කලින් ලේ ගිහිල්ලාම මැරිය. මං ඉත සිතින් ප්‍රාර්ථනා කළා. " තොට ඒ පැහිච්චකම් වැඩක් නෑනේ. ඕක අන්තිමට හෝදද්දි චතුර සේනාරත්න කඳුලු ගෑස් කාලා හොප්පිටල් ඇඩ්මිට් වෙලා."
"එතකොට ‍තෝ මේක භාවිතා කරන්නේ අහවල් එකකටද, ‍තෝ වගේ නසරාණි ගොබ්බ ඩයල් වලට මොකටද ලේන්සු?" මෝරා ආයේ අහපි. අනේ තව ලේ පල. ලේ නෙවෙයි මොළේත් පල. අක්මාවත් පල, අස්ති පංජරයත් පල. ගිහින් ‍තෝ මැරිය. මං ආයේ හිතුවා.

" මං ඕකෙන් තම හො‍ටු හූරන්නේ, තව නාලා ඉවර වෙලා ඇඟ පිහින්නත් ගන්නවා. කාමරේට යද්දි කකුල පිහින්නේත් ඕකෙන්, තව හදිසියකට ගහකට නගින්න පා වලල්ල හදා ගන්නේත් ඕකෙන් තමා. ඉඳලා හිටලා අමුඩේ ගහන්නත් ඕක ගන්නවා, ඇයි තොට ඇම්මද? දැන් බැඳ ගනින් ඕක, ආවා මෙතන නටන්න ලබ්බේ තොවිලේ. අරූ ආවොත් අපි සුනේ සුං."

       මං ඉතාම සංසුන්ව දෙපැත්තටම සාධාරණයක් වන ලෙස සමසේ භව්‍ය වන සේ පැහැදිලි කරලා දුන්නා. මූ මගේ ලේන්සුව ආයේ මටම දීලා ගෑල්ලමෙක්ගේ චීත්ත රෙද්දක් ඉල්ලගෙන තුවාලේ ගැට ගහ ගත්තා. හනේ මුන්ටත් ඉතින් චීත්තයක් ඇත්නම් ඉඹ ඉඹ ඉන්න. වසල කොහා. කොහොම හරි දැන් වැඩේ යනවා. තුන් දෙනෙක් මිදුලෙන් හරි හත‍රැස් පිඩැලි කප කපා දෙනවා.  තව කොල්ලෝ දෙන්නෙක් ඒ ටික ගෝනි වලට අහුරනවා. තව සෙට් එකක් එව්වා වැටෙන් මෙහාට දෙනවා. අනිත් උං ඒවා මැද මිදුළට ප්‍රවාහනය කරනවා. ඉතුරු සෙට් එක ඒ ගේන පිඩැලි මැද මිදුලේ අතුරනවා. තව සමහර එවුන් වතුර දානවා. තව එවුන් තණකොල අස්සේ ඉන්න පළඟැටියෝ, බිං කුණ්ඩෝ සුරතල් කරනවා.
"බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ, ‍තෝත් නටාපිය මාත් නටන්නම්."  මුං එක්කනේ මේ වැඩේ කොරන්නේ අපි. කොහොමින් කොහොම හරි අතක් පයක් නොකැඩී වැඩේ උණා. කාටවත් වැඩි ආබාධ නෑ. එකෙක්ගේ දතක් ගැලවිලා තිබ්බා අර පිඩැල්ලක තිබ්බ ගලක් කටින් අයින් කරන්න ගිහිල්ලා, තව එකෙක්ගේ අතක් කැපිලා තිබ්බා. ඌ පිඩලි කපන එකා කපන පිඩැලි හරි හත‍රැස් නෑ කියලා, කප කප හිටපු එකා උදැල්ලෙන්ම මිඩ් ඔන් කළාපය හරහා පහරක් එල්ල කරලා. ඌටත් අමාරුවක් නෑ. තව එකෙක් බයික් එකකින් වැටිලා. ඌ නම් අපේ පන්තියේ එකෙක් නෙවෙයි. පාරෙ ගිය එකෙක්. දැන් අර මිදුල නිකම් වට කෙස් මැද හිස් වගේ. වටේ පිඩැලි යසට තියනවා ආතල් එකේ. මැද්දෑවේ තිබ්බ ඒවා තුෂ්නිම්භූත වෙලා. කොහොම හරි හවස් ජාමේ ඒ ගෙවල් පැත්තෙන් අම්මමෝ නැති බැනිල්ලක් ඇහුණා කියලා ආරංචියක් ආවා. පව් අප්පා..
කාගේ උණත් දරුවෙක්නේ.

ත්‍රාසයෙන් කුල්මත් කරන වැට ගැසීමේ ප්‍රොජෙට්‍ටුව ඊගාවට.