Search This Blog

Sunday, February 5, 2017

නම් ගම් මනකල්පිතයි...

එකල එක් සමයෙක්හි ඉන්දිය සාගරයේ ආසියාවේ ඈස් චර්ය ලෙසින් හඳුන්වන්නා වූ රටක් වන්නාහ. මෙහි නම ඈසූ කල්හි ඉදින් මුලු ලොවම සසල වී යන්නාහ. මෙයින් යොදුන් සූ සා කල්පයක් ඈතින් පිහිටි ඇමෙරිකා නම් දේශයද භයින් සලිත ව යන්නාහ.මේ රට නම් සිරිලක්පුර, පර්සි මහෙන්ද්‍ර නම් රජ තෙම දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරන්නාහ. ඌ තුමූහි අස් හලෙහි ලැම්බොර්ගිනිද, සුදු වෑන්ද පවත්නාහ.

මෙකල මෙරටෙහි අගනුවර වූ ශ්‍රී ජයවර්ධනපුරට නුදුරින් මාලඹේ නම් වූ නගරයක් පවත්නාහ. මෙහි වසන්නා වූ පොවිල් පර්නෑන්ඩු නම් වෙලෙන්දෙකි. මෙතෙම උපායෙහි දක්ෂය, මනාකොට මුදල් ඇත්තා වේ, එහි ආනුභාවයෙන් තමනට උනුවමනා කෙනෙකුන් නම්මා ගත හැකියැයි සිතන්නේ. දිනක් මේ තැනැත්තේ වසන කල මොහුට අරුම දොළක් පහළ වන්නාහ.
"මා දැන් වියපත් වන්නාහ. එහෙත් මා සතු ධනය පිරිපුන් නොවන්නාහ. ධනය නම් වූ කළී කොතෙක් ‍රැස් කළත් තෘප්තියට පත් නොවන්නාවූවකි." එක් පයක් වලෙහිද අනෙක් පය ගොඩෙහිද තබා ගෙන මූ තුමූ තවත් කල්පනාවෙහි නිමග්නව උපායක් සිතන්නේ ලෝභමාත්සර්ය පෙරදැරිව නිගමනයකට එළඹෙන්නාහ.

"ජරපත් නහින දෙහින සමයක වෙසෙන මා හට හිපා‍ටුවෙකු මෙන් දුව පැන ඇවිදීම කළ නොහැක්කේය, කැ‍ඳෙත්තෙකු තප්පදෝරුව යම් තැනක වසන්නේද, මාගේ ඔත් දිවිය මෙලෙසෙම සංයමක්වැ ගෙවීමට සිදුවේ. නමුදු උපායෙන් රාජ මාත්‍යාදීන් නම්මා ගතහොත් මෙපුර මාගේම වෙද විදුහලක් ඇරඹිමෙන් ඉසුරුමත්හු අද්දවා ගත හැකි වන්නේ, උන්ගෙන් කඩා වඩා ගන්නා මුදලින් ශොබමානව නානාභරණ විභූෂිතව සිරී සරින් සාර වූ දිවියක් ගත කරමින් මන දොළ සපුරා ගමි " සිතන්නේ හෙට්ටිගේ ගෙදර බාල පයිප්ප දැමූ සොර කාර්මික ශිල්පී සම්බ වී සේ මහත් ප්‍රීතියකට පත්විය.

                             මෙපුර කොතැනකවත් මුදලට වෙදුන් බිහි නොවන්නාහ. විෂයෙහි දක්ෂ වූද, අලාමක වූද, ස්මෘති ශක්තිය අධික වූද, ආයාස කොට උගෙන විභාග සමෘර්ධි කොට ඇත්තාවූන්ට පමණක් රාජ්‍ය අනුග්‍රහය යටතේ උගෙනීමට භාග් වන්නහුය. රාජ්‍ය අනුග්‍රහය ලැබී යන ආයතන කිහිපයක් ලංකාපුරය සතර දික් භාගය කරා ඇත්තේ ඔව්නොව්න් තම තමන් විභවානුරූපව හැකි පමණ වෙර යොදා ව්‍යක්තව ශිල්ප උගන්වති. සිසුවෝහුද බොහෝ දුක් උපදවා උත්ප්‍රකාරව, පත පොත් වන පොත් කරමින් මෙන්ම ඇපොයින්මන්ට්  සම්මත කරන්නේ නරනාරි ගණාකීර්ණ රෝහල් වල දිවා කල සැරිසරමින්ද කැෂුවල්ටි හැදැරීමට රාත්‍රී සමයන්ගේද රෑ බදුල්ලන් සේ  සරති. රෝග පිලිබඳ වූ හසල දැනුමින් මුහුකුරා යති. දෑරඟමිණක් සේ බබලති.

                                              පොවිල් තෙමේගේ මන්ත්‍රණයට අනුව මේ කිසිත් වැඩක් නැත්තේය. ඌ තුමූගේ මන දොල පිරීමට අවැසි මුදල් ප්‍රමාණය පෙරාතුව කැටිව යන්නේ පීසා හලක් මෙන් වෙද උපාධි විකුණති. මෙකළ මෙපුර උසස් අධ්‍යාපන ඇමතිධුර දරන්නෝ ඇස්බී නම් වූ මහතෙකි. හෙතෙම කටමැත දෙඩීමෙහි සමතෙකි. පිස්සෙක් සේ පිස්සෙක් සේ මාධ්‍ය සන්ධර්භ පාමින් ආක්‍රොෂ පරිභව කෙරෙයි. කිරි අප්පට බල්ලො බුරන්නා සේ විටින් විට හඬ තලයි. පොවිල් හට මෙවන් පීචං අලජ්ජී වූවන් නම්මා ගැනීම ගේමක්ම නැත්තාසේය.
       ටික කලෙකින්ම පොවිල්ගේ වෙද උපාධි කඩය නයිටම් නමින් බිහි වන්නේ, ඇස්බී තෙමද නග්න රූපකායෙන් ඊට කඩේ යාම් ඊම් කරන්නේය.උපාධිය නිකුත් කිරීම ආරම්භ කිරීම ඉ‍ටු කලෝද එහි සිසුන්ට ක්ලිනිකල් සම්පූර්ණ කරන්නට රෝහලක් නැත්තේය.ලංකාපුර ආතුර වූ රෝගීන්ගේ සුභසිද්ධිය උදෙසා රාජ්‍ය අනුමැතියෙන් යුත්තාවූ විභ්‍රමණ ආයතනයක් ඇත්තේ, වෙද සභාව නම් ලදි. මොවුන් වෙදුන් ‍රැකුමට කටයුතු නොකරන්නේ රොගීන්ගේ සුභසිද්ධියම බලන්නේය. ප්‍රමිති ගත වෙද සේවාවක් මෙපුර ක්‍රියා කිරීම අභිමතාර්ථ වන්නාහ. නොබෝ කලකින්ම මේ සභාවේ අයවලුන් පොවිල් තෙමේගේ කඩයට ගොඩවන්නේ ප්‍රමිතිය පරීක්ෂා කරන්නහුය.
       "එම්බා පොවිල්, වෙදකම යනු කාවුන් සේ පත පොත වන පොත් කිරීම නොව, ආතුරවූ ලෙඩුන් සමග කටයුතු කිරීමද අවශ්‍ය වන්නාහ.මෙහි එසේ කිරීමට අවැසි වූ ශික්ෂණ රෝහලක් නැත්තාසේය." බෙනෙමින් සභාවේ නිළධාරීන් බැහැරව යන්නාහුය.
       පොවිල්ට හීන් දාඩිය පිට වන්නා විය, කේෂ කළ්‍යාණෙන් තොරවූ හිස ඩාදියෙන් තෙමී යන්නට විය.හනික රෝහලක් ඉදි කරමි යැයි ආවේශ වන්නේ මාලඹේම තෙමේගේම නමින් රෝහලක් තැනවීය. පොවිල්ගේ කරුමය පටිසන් දෙන්නේ ඉවත ලූ පරඬලා පතක් මෙන් රෝහල වියළී යන්නේය. රෝගීන් නොපැමිනෙන්නේය. ඉදින් බාහිර රෝගී අංශ පවා මැසී මැස්සන්ගෙන් පිරී යන්නාහුය.රෝගීන් නොමැතිව අපි ටික් බෝල ගසන්නදැයි අසමින් සිසුවෝද කලහ කරන්නාහුය. පොවිල් තෙම තවත් කූට උපක්‍රමයක් කල්පනා කරන්නේ
" දැන් නයිටම්හි මෙපුර බොහෝ මහාමාත්‍යාදීන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේය. සියලු දෙමව්පියන් සිරි සරින් සාර වූ අය වෙත්. නැති බැරි දුගී වූවන් කිසිවෙකු මෙහි නොවසත්.මොවුන්ගේ කර පිටින්ම ගොඩ යම් යැ" යි සිතා මෙතෙම ක්ලිනිකල් සැපිරීමට රාජ්‍ය අනුග්‍රහයෙන් විරාජමාන රෝහල් ඉල්ලීමෙන් කලහ කරන්නේය.
     නයිටම්හි ශිල්ප උගන්නේ බොහෝ කොට මෙපුර පාලනය කරන්නාවූ මහාමාත්‍යාදීන්ගේ ලමුන්ය. ශිල්ප ගන්නා කළ ශිල්ප නොගෙන ඔලමොට්ටව ගිය කල, මා පිය උරුමයෙන් ලද කහවණු වියදම් කොට නයිටම් වෙතින් වෙද උපාධිය මිලට ගන්නෝය.අනෙක් ලමුන්ද මුදලින් ආඪ්‍ය වූ අයවලුන් බැවින් රාජ්‍ය රෝහලක් ලැබුම උගහට නොවන්නේයැයි සිතති.මොවුන්ගේ තැත ව්‍යවර්ත වන්නේ රාජ්‍ය වෙද සිසුවෝ, වෙදුන් සහ මහ ජනයා සපුරා එකාවන්ව එක හෙලා ඊට විරුද්ධ වන බැවිණි.
                ක්ලිනිකල් බර රජයට පවරා ලමුන්ගෙන් ලැබෙන කහවණු පොට්ටණිය අතපත ගා සොම්නසට පත්වෙන්නට සිටි පොවිල්ට දිවා කල තාරකා මණ්ඩලය පෙනී ගියාහුය. එකල හෙතෙම කල් උකුත්ව ගිය ගැල් කරුවෙකු ෆෝම් කරන්නේ ඌ හට බස් උගන්වා මාධ්‍ය ඉදිරියට එවන්නේය.ගුමුණු නම් වූ මේ ගැල්කරු නයිටම් වෙත රෙදි නොමැතිව කඩේ යන්නේ, නයිටම් පිළිනොගන්නේ නම් ගැල් කරුවන්ගේ වර්ජනයක් සිදු කරන්නේ යැයි වහසි බස් දොඩන්නට විය. නයිටම් සහ ගැල් කරුවන් අතර සම්බන්ධය සොයා ගත නොහී ජනයා එකට එක කැපී ගිය විට බිංදුව ලැබෙන්නේ යැයි කියූ එකල ලංකා අඹරේ නම ‍රැන්දූ ගණිතඥයා සොයා ගියාහු.ඌ තුමූද සම්බන්ධය සොයා ගත නොහී තුම්මුල්ලටම වෙලා මුහුණට මුහුණ බලා හිඳින්නාය. එකෙනෙහිම ගැල් කරු උකටලීව පොළොන්නරු ගොවීන් මඩ කණයි කනවාට නියර දිගේ යන්නාක් මෙන් අයින් වෙලා පයින් යන්නට පටන් ගත්තාහුය.

                              මෙකල නයිටම්හි ශිල්ප උගෙන ගන්නන් හටද තෙලක් සැදී තිබිණි. අතීසාරෙට අමුඩ ගැසීම වැණි ප්‍රතිකර්ම ප්‍රගුණ කර සිටි මොවුහු තමන්හට සාමාන්‍ය වෙදුන් සේ කටයුතු කිරීමට වැඩ අසම්මත වූ කල්, නීතිය පලිහක් කොට ගැන්මට සිතූහ.නීතියෙන් වෙදුන් බිහි කිරීම මෙතුවක් කල් ලොව කිසිදු පුරයක් සිදු නොවූ විරූවකි. එසේම වෙද සභාවේ අනුමැතියකින් තොරව වෙදුන් බිහි කරන එකම ද්වීපයද මෙයම වන්නේය.
     නයිටම් සිසුන්ට නියාකාර ක්ලිනිකල් නොලැබීමත් ඊට ඇතුළුවන්නන්ගේ ප්‍රමිතිය ගැන කිසිදු වග විභාගයක් නොමැති වීමත් හෙයින් නයිටම් තුළින් ඕනෑම ගොනෙකුට වෙදෙකු වීමේ විභවය පවතින බව මහ ජනයාට ප්‍රත්‍යක්ෂ වන්නේය.ඉන් අවැඩක් වන්නේ හුදී මහ ජනයාටමය. වෙදුන්ට හෝ වෙද සිසුන්ට කිසිදු පශ්චාත්භාගයේ කැසිල්ලක් නම් නැත්තාමය.ඒ තැනැත්තේ තම තම පවුල් වල අයවලුන් ගැන ‍රැක බලා ගැනුමට සමත්කම් ඇත්තෝය.ලෙඩකදී දුකකදී කළ යුතු දේ දන්නෝය.

                      මෙකළ වන විට රාජ්‍ය පෙරළියක් සිදු වී තිබූ හෙයින් පුරයේ සෞඛ්‍ය මැති ධුරය දරන්නේ කුජිත නැමැත්තෙකි. හෙතෙමගේ ලේලි තොමෝද නයිටම්හි අධ්‍යාපනය ලබන්නහුය. එහෙයින් නයිටම් වෙත රාජ්‍ය අනුග්‍රහ නිරන්තරයෙන් ලැබෙන්නේය. ඇස්බී තොමෝද ඉඳ හිට ජනයා හමුවී පෙනී සිට උඩුබුරලන්නේ වරක් ඡන්දයකින් පැ‍රැද ගොස් නානාලම්බනයෙහි ඇවිද නැවත නායක කාරකයින්ට කයිවාරු කොට තනතුරේ පැමිණියාහු. වෙද සිසුන්ද, වෙදුන්ද, වෙද සභාවද, මහ ජනයාද එකාවන්ව හළ පැළැල්ලෙන් මුදා හැරියා සේ නයිටම් කෙළවර කිරීමට මනාප දක්වන්නේ ඒ වෙනුවෙන් සපථ කලාහු ඒ සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙයි.අරගල වනාහි  මොවුන්ගේ බන්ධු සමානය, එඩි පසු නොළා අරගලය ජය ටැඹ කරාම යත්...